අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යන අතර, රු 2,159ක්ව පැවති උපරිම බස් ගාස්තුව රු 2,422ක් දක්වා රුපියල් 263කින් වැඩි වී තිබේ.
මේ අතර බස්නාහිර පළාත තුළ ධාවනය වන ත්‍රිරෝද රථ ගාස්තුද සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර, පළමු කිලෝමීටරයට රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයට රුපියල් 90ක් අයකිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු 15%කින් වැඩි කරන ලෙස බස් සංගම් ඉල්ලීමක් කළද, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ බස් ගාස්තු සඳහා 10%කට වැඩි බලපෑමක් ඇති වී ඇති බවයි.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවති අනিশ්චිත තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට ඇතැම් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටි අතර, අද පෙරවරුවේ බස් ධාවනය සීමිතව සිදු විය.
ඒ හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර, ධාවනය වූ බස් රථවල දැඩි තදබදයක් ද දක්නට ලැබුණි.
ගාල්ල නගරයෙන් ආරම්භ වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් සඳහා දිගු පෝලිම් පවා දක්නට ලැබූ අතර, අම්පාර ප්‍රදේශයේද බස් ධාවනය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
අම්පාර සිට මාතර බලා පිටත්වීමට සූදානම් වූ බස් රථයක රියදුරෙකුට අනෙකුත් බස් සේවකයින් පිරිසක් බාධා කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
නව බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.