ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ, සිය හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි. ඒ බව ඔහුට අයත් Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ඉරානයට එරෙහි මෙහෙයුම්වලදී වැදගත් ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත්, ඉරානයේ යුද ශක්තිය බිඳ දැමීමට සමත් වූ බවත් ඔහු සඳහන් කරයි. එමෙන්ම ඉරාන මිසයිල හැකියාවට දැඩි පහරක් එල්ල කර ඇති බවත්, යුධ උපකරණ නිපදවන කඳවුරු විනාශ කිරීමට හැකි වූ බවත් ඔහුගේ සටහනේ දැක්වේ.
ඒ හේතුවෙන් ඉරානයට නැවත න්‍යෂ්ටික අවි නිපදවීමේ හැකියාව අඩාල වී ඇති බවද ඔහු පවසයි.
තවද මැදපෙරදිග කලාපයේ අමෙරිකාවේ මිත්‍ර රටවල් වන ඊශ්‍රායල සවුදි අරාබිය , කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය බහරේන් කුවේට් ඇතුළු රටවල් ඉරාන තර්ජනවලින් සුරක්ෂිත කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන අනෙකුත් රටවල් එම සමුද්‍ර මාර්ගය ආරක්ෂා කිරීමේ වගකීම භාරගත යුතු බවද ඔහු සිය සටහනේ අවධාරණය කර ඇත.