QR කේත ක්‍රමය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග එම ස්ථාන ආශ්‍රිතව ඇතිවී ඇති රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
මහජනතාව තුළ ඇතිවූ අනවශ්‍ය කලබලය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි පෝලිම් සහ රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවද ඔහු සඳහන් කළේය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
තවද, QR කේත ක්‍රමය යටතේ වාහන කාණ්ඩ අනුව නියමිත ප්‍රමාණයෙන් ඉන්ධන ලබාදෙන බැවින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොමැති බවත්, යුදමය තත්ත්වය හමුවේ කළමනාකරණ ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය හඳුන්වා දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මහජනතාව අතිරික්ත ලෙස ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් පෝලිම් වැඩිවී ඇති බවද සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, තදබදය අවම කිරීම සඳහා රථවාහන හා පොලිස් නිලධාරීන් අදාළ ස්ථානවල යොදවා ඇති බවද වැඩිදුරටත් පැවසීය.