2017 අංක 4 දරන දේශීය ආදායම් පනතට යෝජිත නව සංශෝධන අනුව, ඇතැම් සේවාවන් ලබා ගැනීමේදී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන පනතේ 103 වන වගන්තියට නව උපවගන්ති කිහිපයක් මෙම සංශෝධනය මඟින් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.
මෙම සංශෝධන අඩංගු 2017 අංක 4 දරන දේශීය ආදායම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත පසුගිය පෙබරවාරි 24 වනදා ගැසට් පත්‍රයක් හරහා ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.
TIN අංකයට සහතිකයක් නිකුත් කිරීම
නව කෙටුම්පතට අනුව, TIN අංකයක් ලබාගත් සෑම පුද්ගලයෙකුටම TIN සහතිකයක් නිකුත් කිරීම සිදු කළ යුතුය.
එමෙන්ම 2026 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, නියමිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ද පනත් කෙටුම්පතේ සඳහන් වේ.
ඒ අනුව 102 වන වගන්තියේ (3) උපවගන්තිය යටතේ සඳහන් පුද්ගලයන් විසින්, වගුවේ දක්වා ඇති සේවාවන් සඳහා TIN සහතිකය ඉදිරිපත් කළ යුතු වන අතර, එම අවශ්‍යතාවය පිළිපැදීම සිදු වන බවට අදාළ ආයතනවල නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බවද එහි සඳහන් වේ.
TIN සහතිකය අවශ්‍ය වන සේවාවන්
නව යෝජනාව අනුව, මූල්‍ය ආයතනයක බැංකු ගිණුමක් විවෘත කිරීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති අතර, එය පරීක්ෂා කිරීමේ වගකීම එම මූල්‍ය ආයතනයේ කළමනාකරු සතු වේ.
එමෙන්ම ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබා ගැනීමේදීද TIN සහතිකය ඉදිරිපත් කළ යුතු වන අතර, ඒ සඳහා වගකිව යුතු නිලධාරීන් ලෙස පළාත් පාලන ආයතනයේ සභාපති, බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ හෝ කොමසාරිස්වරයා නම් කර තිබේ.