Latest News

🍃 නුගලි 🍃

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

01 දිගහැරුම

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

‘නුඹ මට ආලෝකයක් විය යුතුම නැත..

මා අන්ධකාරයේ වුවද නුඹ සමඟ හිඳිමි..

නුඹ මල් පිබිදෙනා වසන්තය විය යුතුම නැත..

මා ගිම්හානයේද නුඹ සමඟ රැඳෙමි..

නුඹ මා පසුපස හැල්මේ පැමිණිය යුතු නැත..

මා නිදහස් තැනැත්තියක්මි..

නුඹ සතුව කිසිවක් නොමැති වුවද කම් නැත..

මා නුඹ සතුය.. නුඹට ප්‍රේම කරමි..’ 

ඇය ඔහුට, ඇගේ අවසානය දක්වාම ප්‍රේම කළාය. අයිතියක් ලැබුනද නොලැබුනද ඈ ඔහුට ප්‍රේම කලේ ඇගේ ආත්මයෙනි. එක් පිරිමි ආත්මයක් පමණක් පතාගෙන යළි ඉපදෙන්නට හැකි නම් ඈ ඉපදෙන්නේද වෙනත් කිසිවෙකුත් නොව ඔහුවම පතමිනි. එතරමට ගැඹුරු ප්‍රේමයක් ඇය තම හද සන්තානයේ නිධන්ගත කරගත්තේ කෙදිනකවත් ඇගේ ප්‍රේමයට මියැදෙන්නට අවකාශයක් නොදෙමිනි. ඈ ඇගේ ප්‍රේමය නම් බීජය මෙලොවෙහි පැළ කළාය. බිඳෙන් බිඳ වැඩෙනා කුඩා පැළය අද තුරුණු රුකක් වී ඇගේ ප්‍රේමයේ පරිමාණය ලොවටම හඬ ගා පවසන්න⁣ට සූදනම් වන්නීය. ඒ වෙනත් කිසිවෙකු නොවේ මා විසිනි.

මා ඇගේ ප්‍රේමයේ සළකුණයි..! මා ඇගේ ප්‍රේමය නම් බීජයයි..!

– ලේඛිකා කෛලාශා සාන්වි මඬුගල්ල – 

                              ____________________

පොත් එළිදැක්වීමේ උළෙලට සහභාගී වූ දෙසියකට ආසන්න පිරිස අසුන්ගෙන සිටි මහවැලි කේන්ද්‍රයේ ශාලාව තුළ තවමත් පැතිර ඇත්තේ ගැඹුරු වූ නිහැඬියාවකි. එහි රැස්ව සිටි පිරිසගේ දෑස් බරව ඇත්තේ ඔවුනගේ අතරැඳි කෘතිය මතය. දෙසවන් ස්පර්ශ කරන්නේ කුඩා වේදිකාව මත අසුන්ගෙන සිටිනා සුරූපී යුවතියගේ මෘදු හඬයි. 

‘ඔබ ජිවිතයේ එක් වරක් හෝ අයිතියක් නොලැබෙනා අයෙකුට පෙම් කර තිබේද..?’

එවර ඇගේ මෘදු හඬ ස්පර්ශ කලේ දෙසවන් නොව ඔවුනගේ හදවත් පතුලයි. මේ ජිවිතයේ අප එක්වරක් හෝ අපට හිමි නොවන හදවතකට රහසින් හෝ පෙම් කර ඇති බව අපේ හදවත් දැන සිටින්නේය. සමහරෙකු අදටත් පෙම් කරනවා විය හැක. තවත් අයෙකු එකී ප්‍රේමය අමතක කර යතාර්ථයට මුහුණ දෙනවා විය හැකියි. තවත් අයෙකු එවන් ප්‍රේමයක හිමිකාරියක් / හිමිකරුවෙකු විය හැකියි. ඒ කෙසේ වුවද ප්‍රේමයට සම්මත නීතිරීතින් නොමැත්තේය. ⁣ඒකපාර්ශවික ද්විපාර්ශ්වික වුවද ප්‍රේමය නිකළැල් හැඟුමකි.

‘එවන් ප්‍රේමයක කැටිව ඇති සිලිලාර බව, ප්‍රේමණීය බව වරෙක හදවතට සැනසීමක් වුවද වරෙක හදවත අවුළුවන්නට සමත්වන්නේය.’ 

සුසුම් හඬක් හෝ නොනැඟෙන ශාලාවේ එක් අන්තයක අසුන්ගෙන සිටි යුවතියක් සියල්ලන්ට හොරා තම කඳුළු පිසදාගත්තේය. හදවතක් බිඳී ගිය බව සහතිකය. 

“ඉතින් ඔයාලට කුතුහලයක් ඇති ඔයාලගේ අතේ ඔය තියෙන පොත ඇතුළේ මම ලියලා තියෙන්නෙ මොනවද කියලා..” 

කුඩා වේදිකාවේ අසුන්ගෙන සිටි යුවතිය තම අසුනින් නැගිට රැස්ව සිටි පිරිස වෙතට හෙළුවේ සන්සුන් බැල්මකි. මෙතෙක් හුස්ම ඉහළට පහළට ගමන් ගන්නේදැයි පවා නොදැනුන පිරිස සැනසුමින් හුස්මක් පහතට හෙලනු නෙත ගැටුන ඇගේ මුවෙහි ඇඳුනේ සියුම් මන්දස්මිතියකි.

“අපි කතාව නතර කරමු.. ඒක තමයි මේ පොත ඇතුළේ තියෙන කුතුහලය..”

ඈ පැවසුවේ සිය මයික්‍රෆෝනය විසන්ධි කර පසෙකින් තබමිනි. ඉන්පසුව ගෙවී ගිය කෙටි කාලය තුළ ලේඛිකා කෛලාශා සාන්වි මඬුගල්ලගේ නවතම කෘතිය එළිදැක්වීමේ උළෙල මෙහෙය වූ පූරකයා විසින් උත්සව සභාව අමතා එය තවදුරටත් පාඨක සිත්සතන් තුළ නැවුම් හැඟීමක් පමණක් ඉතිරි කරමින් උළෙල අවසන් කළේය. අවසානයේ ඇය විසින් ආරාධනා කරන ලද ක්ශේත්‍ර⁣යේ ප්‍රවීණ ආධුනික සියලුම ලේඛක ලේඛිකාවන් සමඟද සුහද පිළිසඳරක නිරත වූ ලේඛිකා කෛලාශා සිය පාඨකයින් විසින් මිලදී ගත් ඇගේ නවතම කෘතිය ‘නුගලි’ සඳහා කතු අත්සන් තබන්නට වූයේ එක් පසෙකින් සතුටකින් සහ තවත් පසෙකින් හදවත රිදුම් දෙන වේදනාවෙනි. ඈ සතුව බලාපොරොත්තුවක් තිබුණාය. නමුදු එකී බලාපොරොත්තුව, බලාපොරොත්තුවක්ම පමණක් බැව් ඇගේ සිත පැවසුවාය. කෛලාශාගේ මුවින් පිට වූයේ බරැති සුසුමකි. එය ඈ සමීපයේ හුන් යුවතියට පවා ඇසුන තරම්ය. යුවතියගේ දෑස් විසල් වන කල කෛලාශා පෑවේ සොඳුරු හසරැල්ලකි. වේදනාව දරාගෙන පිටතට සිනහවක් පා සංවේගී හැඟුමන් සියල්ල වසාගන්න⁣ට ඈ උගත්තාය. එය ඇයට සිය මවගෙන් ලැබුණු දායාදයක් වැනිය. 

“තැන්ක්යූ මිස්..” යුවතිය ඇය සමඟ ඡායාරූපයකටද පෙනී සිටි අවසන පිටව ගියේය. එම ඇසිල්ලේ ඇය සමීපයට පැමිණියේ ලලිතාය. 

“ලලිතා අම්මේ ඇයි..?” ඇය පෑවේ සන්සුන් හසරැල්ලකි. 

“මගේ මැණිකේ මෙච්චර සතුටු වෙන්න ඕන දවසක ඇයි දුකෙන් ඉන්නෙ..?” ඇගේ ස්නේහය පිරි වදන් කෛලාශාගේ හදවතෙහි වේදනාව වඩ වඩාත් තීව්‍ර කරන්නට සමත් විය. 

දැනුනේ විසල් පිරිසක් මධ්‍යයේ වුවද තමන් තනිවී ඇති බවකි. සැබැවින්ම තමා තනි වූ අයෙකු නොවේදැයි ඇගේ සිතම විමසීය. 

“මන් දුකින් ඉන්නෙ කියලා ලලිතා අම්මට පේනවද..?” 

ඈ විමසුවේ කෙටි සුසුමක් පිටකර සිහින් හසරැල්ලක් පාමිනි.

“කාට නැති උනත් මේ ලලිතා අම්මට පේනවා මගේ මැණිකේ දුකින් කියලා..”

“දුක කියන දේ මිනිස්සු උන අපි හැමෝටම පොදු දෙයක් ලලිතා අම්මේ.. මන් මේ තත්පරේ දුකින් ඉන්නවා සමහරවිට අනිත් තත්පරේ සතුටින් ඉඳියි.. ඒක තමයි මේ ලෝක ස්භාවය.. ලලිතා අම්මා වාඩි වෙලා ඉන්නකෝ මෙතන වැඩ ඉවර උන ගමන් අපි යමු..”

කෛලාශා ආසන්නයේ වූ අසුනක් පෙන්වමින් පැවසුවේ අවිහිංසක හසරැල්ලක් පාමිනි. සිය ජිවිතයේ දශක දෙකකටත් වඩා වැඩි කාලයක් තමා වෙනුවෙන්ම කැප කල මේ වියපත් කාන්තාව කෙරෙහි කෛලාශාගේ හදෙහි ඇත්තේ අසීමාන්තික වූ මව් සෙනෙහසකි. ඇය ස්නේහය පිරි බැල්මක් ලලිතා වෙතට හෙළුවේ හැකි තරම් දුරට තම සංවේගී හැඟුමන් පිටස්තර අයවලුන්ට නොපෙනෙන නොදැනෙන සේ සඟවා ගන්නට උත්සහ දරමිනි. 

“ලොකු මහත්තයා නාවා කියලා මගේ මැණිකේ හිත නරක් කරගන්න එපා ගෙදරට හරි එයි..” 

නොපවසමි යැයි සිතාගෙන සිටියද තම දියණිය වන් කෛලාශාගේ හදෙහි රිදුමන් වටහා ගත් ලලිතා එපමණක් පවසා ඇය සමීපයෙන් පිටව ගියේ තම සංවේගී හැඟුමන් දරාගනිමිනි. 

“එයා නාවත් මගේ තරහක් නෑ අම්මේ.. දරුවෙක්ට පුළුවන්ද එයාගේ අප්පච්චි එක්ක තරහා වෙන්න..? ලෝකයක් ඉස්සරහා මාව නොපිළිගත්තත් එයා මට එයාගේ නම දුන්න එකම මට ඇති නේද..?” 

කෛලාශා මොහොතකට දෑස් වසාගෙන මිමිණුවේ එපමණකි. එයටත් පසුව ඈ වඩ වඩාත් කාර්යබහුල වූවාය. මහවැලි කේන්ද්‍රයේ අතුරු සිදුරු නොමැතිව ඇය හමුවන්නට ඇගේ නවමු කෘතිය මිලදී ගැනීමට ඇය සමඟ ඡායාරූපයක් ලබා ගැනීමට පැමිණි සිය පාඨකයින් අතර ඈ අතරමන් වූවාය. කුඩා අවධියේ සිටම සෙනෙහස අහිමි දරුවෙකු විලස බිඳුන මනසක් හිමි දරුවෙකු ලෙස ජිවිතයට මුහුණ දුන් කෛලාශාට ඇගේ පාඨකයින්ගෙන් ලැබෙනා වූ සෙනෙහස අතිමහත්ය. ඈ වටකරගත් සියල්ලන් වෙතට සොඳුරු හසරැල්ලක් පා කර ඇගේ නවතම කෘතියෙහි සිය අත්සන තැබුවේ වදනක් හෝ ඔවුන් සමඟ දොඬමළු වෙමිනි. එවන් කාර්යක නිරතවන විට නිරන්තරයේ කාර්යබහුල වන විට මිනිසෙකුට වෙනත් යමක් සිතන්නට අවකාශයක් නොමැති බව ⁣කෛලාශා වටහාගත්තෙ කුඩා අවධියේ සිටමය. ඉඳින්, ඈ එය දෛනික ප්‍රායෝගික ක්‍රියාවක් ලෙසට එයට හුරු වූවාය.

එහෙත් එලෙස ඇයට කාර්යබහුල වන්නට හැකි වූයේ කෙටි කාලයක් පමණි. සිය ආරක්ෂකයින්ට මැදිව මහවැලි කේන්ද්‍රයේ දෙවන මහලට පිවිසියේ කෛලාශා සාන්වි මඬුගල්ල මෙතෙක් වෙලා හදවත රිදවාගෙන බලා සිටි බලාපොරොත්තුවයි. එහෙත් ඈ මෙවන් පැමිණීමක් බලාපොරොත්තු නොවූවා කිවහොත් වැරදිය. ඇය හදවත ඇතුළාන්තයෙන් සිය සුජාත පියාගේ පැමිණීම බලාපොරොත්තු වූවාය. කෛලාශා ඈ වටා රැස්ව සිටි පිරිස මධ්‍යයේම හිඳිමින් දෑස් දල්වා මොහොතක් ඔහු දෙස බලා හිඳ, ඔහු⁣ට සමීප වූයේ කඳුළු පිරි දෑසිනි. 

“අ..ප්..ප..ච්චි..!” ඇගේ දෙතොල් සැලුනා පමණි.

සැනින් පැමිණි රුව ඈ වැළඳගත්තේ උණුසුම් හදිනි. ඔහුගේ දෑස් සියුම් කඳුළු පටලයකින් වැසී ගියේය. තත්පර කිහිපයක් නොව විනාඩි කිහිපයක්ම සිය පිය උණුසුමට ගුලිව සිටි කෛලාශාගේ ළය තුළින් වේගවත් ඉකියක් පිටතට පැමිණෙන්නට උත්සහ දැරුවද ඇය ආයාසයෙන් සිය හැඬුම් වළකාගත්තෙ තමන් සිටින්නෙ කිනම් ස්ථානයකදැයි සිහිපත් කරගනිමිනි. 

“මගේ චූටි කෙල්ල ඔයා අද හරිම ලස්සනයි..” 

සිය පපුතුරට ගුලිවූ දියණියගේ හිස පිරිමැද ඒ මත දෙතොල් තැබූ සමුද්‍ර මඬුගල්ල දැඩි සෙනෙහසකින් පැවසුවේ රැස්ව සිටි පිරිස වෙතටද පැහැබර හසරැල්ලක් පාමිනි. 

“මන් හිතුවේ නෑ අප්පච්චි එයි කියලා.. අනේ මට හරිම සතුටුයි..” 

ඈ සිය පියාගේ පපුතුරෙන් මිදී පැවසුවේ සතුටු කදුළු උතුරනා දෑස් පාමිනි. ඇගේ වදන් හමුවේ සමුද්‍ර මඬුගල්ලගේ මුවෙහි ඇදී ගියේ හසරැල්ලකි. ඔහු සිය දියණියගේ රෝස පැහැ කොපුල්තල තෙමාලමින් ගලා  ගිය කඳුළු වැල් පිසදමා යළිත් ඈ සිය පපුතුරට ගෙන කෛලාශාගේ හිස මත හාදුවක් තැබුවේය. ඇගේ හිස සිපගන්නා වාරයක් පාසාම ඔහුට දැනෙනුයේ තම ජිවිතයේ කිසිඳු අවකාශයක් නොතබා ඒ සියලු හිස්තැන් ප්‍රේමයෙන් පමණක් පිරවූ සුන්දර ගැහැණියගේ ප්‍රේමයේ සුවඳයි. ඇගේ හිසින් සේම මැයගේ හිසින්ද හමනුයේ එකී ප්‍රේමණීය සුවඳ විනා වෙනත් කිසිවක් නොවේ. 

“ඕරා හර්බල් ඕනර් සමුද්‍ර මඬුගල්ල මේ වගේ තැනකට ඇවිත් ඉන්නවා දකිද්දි හරි පුදුමයිනේ..?” 

සම්මානනීය ලේඛිකා කෛලාශා මඬුගල්ලගේ නවතම කෘතිය එළිදැක්වීමේ උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නට පැමිණි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවේදීන් සේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සිය කැමරා ආම්පන්න මයික්‍රෆෝන් සූදානම් කරගත්තේ මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකුගේ පැමිණීම සේම ඔහුගේ හැඟීම්බර හැසිරීම විස්මයක් රැගෙන පැමිණි නිසාවෙනි. 

“ඇයි මොකක්ද පුදුමේ..? මගේ දුවගේ බුක්ලෝන්ච් එකට එයාගේ අප්පච්චි එන්නෙ නැතුව කවුද එන්නෙ..?” 

කෛලාශා සිය තුරුලෙහිම තබාගෙනම සමුද්‍ර මඬුගල්ල පැවසූ වදන් මාලාවට පළමුව තිගැස්සී ගියේ අවිහිංසක යුවතියයි. ඇය තැතිගත් දෑස් සිය පියා වෙතට යොමු කළද ඔහුගේ වතෙහි ඇදී ඇත්තේ සන්සුන් බවකි. 

“අ..ප්පච්චි..” ඇය ඔහු වළකාලන්නට උත්සහ කළාය. හදෙහි ගැස්ම පවා තීව්‍රවන නිමේෂයේ කෛලාශා අසීරුවෙන් වුවද කැමරා කාච වෙතට දෑස් යොමු කලේ මවාගත් සිනාවකිනි. තම පියා සමුද්‍ර මඬුගල්ල මේ සිදුකරන්නට සැරසෙන්නෙ කුමක්ද..? ඇය සුජාත දරුවෙකු නොවුනද රටක් ඉදිරියේ ඈ රැකගෙන පැමිණි නාමයක් තත්වයක් ප්‍රතිරූපයක් ඇත්තේද ඒ සියල්ල අද දින මෙම නිමේෂයේ බිඳී යන බැව් සහතිකය. ඒ සියල්ල පසෙක තබා සිතන කල නරේන්ද්‍රා රාජසිංහ, යමීශා මඬුගල්ල, අනීශා මඬුගල්ල යන අයවලුන්ගේ කෝපය වෛර පිරි දෑස් සිහිපත්වන නිමේෂයේ තමන්ට මින් ඉදිරියට තම පියාගේ සේයාවක්වත් හෝ දකින්නට නොලැබෙන බැව් ඇයට හැඟින.

“එතකොට සම්මානනීය ලේඛිකා කෛලාශා මඬුගල්ල කියන්නෙ සමුද්‍ර මඬුගල්ලගේ දුවෙක්ද..?” 

පිරිස අතරෙහි සිටි එක් මාධ්‍යවේදියෙකු විමසූ පැනයක් හමුවේ යුවතිය තිගැස්සී ගියාය.

“ඔව්..! මේ මගේ පොඩිම දුව.. කෛලාශා සාන්වි මඬුගල්ල..” 

ඔහු කිසිඳු පැකිලීමකින් තොරව සිය දියණිය වෙතට ස්නේහය පිරි දෑස් යොමු කර ඉමහත් ආඩම්බරයෙන් පවසන කල මින් පසුව උදාවන්නා වූ අසීරුතම අවස්ථාවන් පිළිබඳව කෛලාශා බිය වූවාය. එනිසාම ඇයට මෙම අවස්ථාව රැගෙන ආවේ සතුටක් නොවේ. බිය සහ දුක මිශ්‍ර වූ හැඟීමකි.

“අප්පච්චි ඇයි ඔයා එහෙම කලේ..?” 

මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයන් තුළින් මොහොතක⁣ට මිදුන සමුද්‍ර මඬුගල්ලගෙන් කෛලාශා විමසුවේ ඇයට මේ සිදුවන කිසිවක් සිතාගත නොහැකි නිසාවෙනි. එහෙත් ඔහු පෑවේ සන්සුන් හසරැල්ලකි.

“ඒ දේ මම කරන්නම ඕන හින්දා.. ඒ ගැන ඔයා හිතන්න එපා..” 

සමුද්‍ර පැවසුවේ තම දියණිය වෙනුවෙන් රැගෙන පැමිණි මල් කලඹද ඇගේ දෝතෙහි තබනා අතරතුරය. 

“අනේ ඒ උනාට මේකෙන් නරක නමක් එන්නෙ අප්පච්චිටමයි.. මන් කැමති නෑ අප්පච්චිගේ නම කැත වෙනවට..” 

ඇයට තිළිණයක් ලෙස ලැබුන මල් කලඹෙහි සුන්දරත්වය පවා විඳින්නට තරම් සන්සුන් මනසක් කෛලාශා සතු නොවීය. එතරමට ඈ සමුද්‍ර මඬුගල්ලගේ වදන් හමුවේ ක්‍රියාව හමුවේ කැළඹී ගොසිනි. 

“එතකොට ඔයා අවුරුදු විසිතුනක්ම ඔයාගේ අප්පච්චි කවුද අහන ප්‍රශ්නෙට හැමදාම හිනාවෙලා යද්දි ඒ හිනාව පිටිපස්සෙ හැංගුන දුක මට දැනිලා තියෙනවා සනූ.. ඒ දුක මම දැකලා තියෙනවා පුතේ.. මගේ දරුවෝ අසරණ කරන්න මන් කැමති නෑ.. විශේෂයෙන්ම ඔයා අසරණ වෙනවට මන් කැමති නෑ..” 

සිය දියණියගේ මානසික මට්ටම වටහා ගත් සමුද්‍ර එපමණක් පැවසුවේ ඇගේ හිස මත බරැතිව සිය දකුණත තබමිනි. එහෙත් ඈ සන්සුන් නොවුනාය.

“ඒ උනාට අප්පච්චිගේ ෆැමිලි එකේ අය..” 

ඇගේ දෑස් අභියස මැවී පෙනෙනුයේ මඬුගල්ල නිවැසියන්ය. ඔහු එසැනින් පෑවේ කෙටි හසරැල්ලකි.

“ඒවා මන් බලාගන්නම් මට දැන් පොතක් දෙන්න..” 

ඔහු මෙම තත්වය මඟහැරීමේ අවශ්‍යතාවයෙන් සිය දියණියගේ නවමු කෘතියෙහි පිටපත් වෙතට දෑස් යොමු කලේය. කෛලාශාද වහා හිස සලා සුන්දර හසරැල්ලකින් මුව සරසාගෙන පියා නමට වෙන් කල පළමු පිටපතෙහි සමරු අත්සන් සටහන තැබුවේද කඳුළු පිරි දෑසිනි.

“ආදරණීය අප්පච්චිට ආදරෙන්..,”

පොඩි දුව සාන්වි..

ලෙසින් ඈ එහි සටහනක් තබා දෝතින්ම සිය පියා වෙතට එය ලබාදුන් සැනින් යළිත් වරක් සමුද්‍ර කෛලාශාගේ හිස මත තැබුවේ ස්නේහය පිරි හාදුවකි. 

“සනූ මන් දැන් යන්න ඕනේ මීටින් එකක් පැයකට හෝල්ඩ් ඔන් කරලා මේඝට දීලා මන් ආවේ.. මන් ගිහින් කොල්ලව එවන්නම්.. වැඩ ටික ඉවර කරලා පරිස්සමින් ගෙදර යන්න ගිහින් මට කෝල් එකක් දෙන්න හොඳද..” 

සමුද්‍ර මඬුගල්ල සිය දියණියගෙන් සමුගෙන මහවැලි  කේන්ද්‍රයෙන් පිටව ගියේ මෙරට ව්‍යාපාරික ලෝකය සේම සාහිත්‍ය ක්ෂේත්‍රය තුළද විසල් කැළඹීමක් ඇති කරමිනි. ව්‍යාපාර ලෝකයේ දැවැන්තයා සමුද්‍ර මඬුගල්ල සේම සාහිත්‍ය ක්ශේත්‍රය තුළ වඩාත්ම කතාබහට ලක්වන ලේඛිකාව කෛලාශා සාන්වි මඬුගල්ලගේ සැඟවුනු දිවිය මින් ඉදිරියට කිසිවෙකුට රහසක් නොවන බවට පැමිණ සිටි අමුත්තන් සේම මාධ්‍යවේදීන් සියල්ලන්ම මනාවට සාක්ශි දැරූහ. 

:

:

:

“ඕරා හර්බල් හිමිකරු සමුද්‍ර මඬුගල්ලගේ රහස් ජිවිතයේ හෙළිදරව්ව..” (වීඩියෝ සහිතයි)

“ඕරා හර්බල් සන්නාමයේ හිමිකරු සභාපති සමුද්‍ර මඬුගල්ලගේ තෙවැනි දියණිය කරළියට..” 

“කඩවසම් ව්‍යාපාරික සමුද්‍ර මඬුගල්ලට තෙවැනි දියණියක්..???

“ලේඛිකා කෛලාශා මඬුගල්ලගේ සුජාත පියා සමුද්‍ර ද..??”

“සම්මානනීය ලේඛිකා කෛලාශා මඬුගල්ලගේ පියා සමුද්‍ර මඬුගල්ල බව ඇය පිළිගනියි..” 

මේපල් ක්ලෝතින් ඇගළුම් කර්මාන්ත ශාලාවෙහි ප්‍රධාන කාර්යාලයෙහි සුවපහසු අසුනට බරව සිය මුහුණු පොත පිරික්සමින් සිටි ධනවත් රූමත් කාන්තාවගේ දෑස් එක්වරට සියදහස්වරක් තිගැස්සී ගියේ වායුසමීකරණය තුළ පවා ඇගේ ගත දහඩියෙන් තෙත් කරමිනි. මුහුණු පොතෙහි පළවී ඇති කෙටි වී⁣ඩියෝපටය ඇය එක්වරක් නොව දෙවරක් නැරඹූ අවසන ගතම සසැලී ගියේ අසීමාන්තික කෝපයෙනි. මෙය තම නීත්‍යනුකූල සැමියා සමුද්‍ර මමඬුගල්ල විසින් තමන්ට තම දරුවන්ට එල්ල කල විසල් අතුල් පහරක් වැනි යැයි ඈ සිතුවාය. එකී සිතුවිල්ල විශක් සේ සිරුර සිසාරා දිව යනෙන කල නොනැවතීම වට්ස්ඇප් පණිවිඩ කිහිපයක් ඇගේ දුරකථනය තුළ සටහන් විය. දියණියන් දෙදෙනා සේම ඇගේ මිතුරියන් පවා ඇගේ වට්ස්ඇප් හරහා සම්බන්ධ කර ඇත්තේ සමුද්‍ර මඬුගල්ල මෙයට විනාඩි කිහිපයකට පෙර සහභාගී වූ කෛලාශාගේ පොත් එළිදැක්වීමේ උළෙල තුළදී සිදුකල ප්‍රකාශයේ වීඩියෝපටයයි. 

“සමුද්‍ර.. සමුද්‍ර තමුසෙ මාව මරන් කෑවා නම් මීට වැඩිය හොඳයි..” 

ඇයට තම සුවපහසු අසුනේ අසුන්ගෙන පවා සිටින්නට නොහැකි තරමට ගතම කෝපයෙන් උණුසුම්ව ගොසින. ඇය තම අසුනද පිටුපසට තල්ලු කර දමා නැගිට සිටියේ වම් උරහිසෙහි රැඳි සාරි පොට පවා පසෙකට කර දමමිනි. මේ දැනෙනා වූ කෝපය මේ දැනෙනා වූ ලැජ්ජාව ඇයට දරාගත නොහැකිය. මන්ද විසිපස්වසරක් පුරාවට ඈ රැකගත් තම පවුලෙහි නම්බුවට තම ආත්මාභිමානයට ඔහු විසින් එල්ල කලේ දැවැත්ත පහරකි. එයට කිසිඳු ලෙසකින් ඔහුට සමාවක් දිය නොහැකි බැව් මෙකී ධනවත් කාන්තාව තම සිතින් මිමිණුවේ වෛරයෙන් පුපුරා හැලෙමිනි. ඇය වහා සිය දුරකථනය ගෙන ඇමතුමක්  ලබා ගත්තේ සිය සැමියා සමුද්‍ර මඬුගල්ලටය. ඔහු ඇමතුම සමඟ සම්බන්ධ වන්නට ගන්නා තත්පරය පවා ඇයට දිගු කාලයක් විය.

“සමුද්‍ර තමුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? කොහොවත් ඉන්න හිඟන්නියක් ජිවිතේට ඇදලා ගත්තා මදිවට ඒකිගේ හිඟන පැටියවත් ලොකු කරගෙන තමුසෙ කලේ ලොකු වැරැද්දක් සමුද්‍ර.. තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද..? තමුන් කොහොමත් ලැජ්ජාව කියන දේ දන්නෙවත් නැති මිනිහෙක්නෙ..” 

කාර්යාලීය කුටිය පුපුරා යනෙන තරමට උස් හඬින් එකී කාන්තාව කෑ ගසමින් සිය කෝපය වෛරය පිටකරන්නට විය. ඇගේ ගතම දහඩියෙන් තෙත්ව ගොසින. 

“මිසිස් නරේන්ද්‍රා රාජසිංහ මතක තියාගන්නවා දවසක තමුන්ගෙ හස්බන්ම මගේ දරුවා එයාගේ දරුවා කියලා පිළිගන්නවා.. අන්න ඒ දවසට තමුන් ඒක දරාගන්නෙ කොහොමද කියලත් දැන්ම ඉඳන් කල්පනා කරනවා..” 

මීට විසිතුන් වසරකට පෙර ගිනි කාලිය මෙන් ඇවිළුන ඈ තමන් ඉදිරියට පැමිණ පැවසූ වදන් ඇගේ දෙසවන් තුළ මෙම නිමේෂයේ දෝංකාර දෙන්නට විය.  කිසිවෙකු ඉදිරියේ නොසැලී අභිමානවත් අයුරින් සිටි තමාව ඇය එක් නිමේෂයකින් පහතට ඇද දමා ඇති බවට මෙය සාක්ශියක් බැව් ඇගේ සිත පවසන්නට විය.

“දැන් එකපාරට මොකද මගේ ලැජ්ජාව ගැන හොයන්න හිතුනේ..?” 

එහාපසින් ඇසුන සමුද්‍ර මඬුගල්ලගේ සන්සුන් හඬ පවා ඇගේ කෝපය තීව්‍ර කරන්නට සමත් විය.

“එකපාරට..? එකපාරට නෙමෙයි සියදහස් පාරක් මට තමුසෙගේ ලැජ්ජාව ගැන හිතිලා තියෙනවා.. නටන නාඩගමක් නටාගන්නවා ලෝකෙට විහිළුවක් නොවී.. මේ කෙල්ලො දෙන්නා සමාජෙට යන්න ඕනේ.. ගිහින් බලනවා ගොසිප් සයිට් වල ෆ්බී පේජ් වල තමුසෙගේ කෙරුවාව රහ කර කර විකුණන හැටි..” 

ඇයට තවදුරටත් ඔහු හා වාද කරන්නට අවස්ථාවක් උදා නොවුනේ මානව සම්පත් කළමනාකරණ නිළධාරියාගේ පැමිණීම සටහන් කල නිසාවෙනි. එනිසාම ඇය එපමණක් පවසා ඇමතුම විසන්ධි කර දුරකථනය සිය මේසය මතට අතහැරියේද පැමිණි කළමනාකරු පවා මොහොතක⁣ට තිගස්සවමිනි.

:

:

:

පොත් එළිදැක්වීමේ උළෙල අවසානයේ පැමිණි ආරාධිතයින් සියල්ලන්ම පාහේ පිටව ගිය අවසන කෛලාශා මහවැලි කේන්ද්‍රයේ පිටත වූ බංකුවක් මත අසුන් ගත්තේ තුරු හිස් මුදුන් අතුරෙන් ඇගේ සියුමැලි ගත සිපන්නා වූ හිරු කිරණ වෙතට සිහින් කරගත් දෑස් පාමිනි. ඉතිරි වූ පොත් කිහිපය රැගෙන ප්‍රකාශන ආයතනයද පිටව ගිය පසු ඉතිරි වූයේ කෛලාශාත් ඇගේ තනියට සෙවණැල්ල මෙන් සිටිනා ලලිතාත් පමණි. 

“මගේ මැණිකේ දැන් දවස් දෙක තුනක ඉඳලා හරි කෑමක් බීමක් නෑනේ.. මේකවත් බීලා ඉන්නකෝ..” 

ලලිතා කෛලාශා වෙතට පෑවේ උණුසුම් නෙස්කැෆේ එකකි. 

“මට බොන්න තරම් පිරියක් නෑ ලලිතා අම්මේ ඕක විසිකරලා දාන්න..” 

ඇය පෑවේ මලානික හසරැල්ලකි. අතිසාර්ථක අයුරින් ඇගේ දහතුන්වන කෘතිය එළිදැක්වීමේ උත්සවය නිමා වුවද යුවතියගේ හදවත සිසාරා පැතිර ඇත්තෙ වේදනාවක් පමණි. දෑ සමන් මලක් මෙන් සොඳුරු යුවතියගේ වත පරව ගිය කුසුමක් සේ මිලිනව ගොස් ඇත. දෑස් හි කොපුල්තල ස්පර්ශ කරන්නට මාන බලනා වූ කඳුළු බිඳුවකි. හදවත බියෙන් සසැලෙන්නේය. ඇය මීට හෝරාවකට පෙර නරේන්ද්‍රා රාජසිංහ විසින් එවන ලද කෙටි පණිවිඩය වෙතට දෑස් යොමු කළාය. එහි ඇයට මෙන්ම ඇගේ මවට නඟා ඇති චෝදනාවන් අපවාද සුළුකොට තැකිය නොහැකි වුවද පුරා විසිතුන්වසරක්ම ඇය නරේන්ද්‍රා රාජසිංහගේ කටුක වදන් ඉවසන්නීය. ඇයට වෛර නොකරන්නීය. ඇය කෙටි පණිවිඩය මකා දමා දුරකථනය පසෙකින් තැබුවේ මහවැලි කේන්ද්‍රයේ ප්‍රධාන දොරටුවෙන් පිවිසි අධිසුඛෝපභෝගී රථය නෙත ගැටුමෙනි. එයින් තත්පර කිහිපයක් තුළ පිටතට පැමිණියේ කඩවසම් තරුණයෙකි. අළු පැහැයත් කාල වර්ණයත් මුසු දිගු දෑස් ඇත්තා යුවතිය වෙතට පෑවේ ප්‍රේමණීය බැල්මකි. 

“මේඝ ඔයා ආවද..?” 

ඈ අසුන්ගෙන සිටි බංකුවෙන් නැගිට සිය සහකරු වැළඳගත්තේ උණුසුම් හදිනි. මේඝ වරුසවිතාන, කෛලාශා සාන්වි මඬුගල්ලගේ හදවත දිනාගත්, නුදුරු දිනෙක ඇගේ සැමියා වන කඩවසම් තරුණයාය. ඔහු නෑකම අතින් ඇයට මස්සිනාය. සමුද්‍ර මඬුගල්ලගේ බාලම සොයුරිය නදීරාගේ එකම පුතුය.

“සොරි සනූ බබා මන් ලේට් උනා මාමා හදිස්සියෙම මීටින් එකක් කෝල් කරලා මාව තියලා එයා මෙහෙ ආවනේ..” 

මේඝ සිය පෙම්වතිය තම පපුතුරට සිරකරගෙන පැවසුවේ නිදහස් වමතින් ඇගේ හිසද පිරිමදිමිනි. ඈ ඔහුගේ මෘදු ස්පර්ශය හමුවේ මොහොතකට සැනසුනාය.

“ඒකට කමක් නෑ මන් තරහා නෑනේ..” 

ඇය මිමිණුවේ ඔහුගේ උණුසුම් පපුතු⁣රෙන් හමනා වූ Giorgio Armani විලවුන් සුවඳ විඳිමිනි.

“සනූ බබා ඇයි ඔයා අවුලෙන් වගේ..? ලෝන්ච් එකේදි මොකක් හරි ප්‍රශ්නයක් උනාද..?”

මේඝ වරුසවිතාන කිසිත් නොදන්නා අයෙකු විලස විමසුවේ යුවතියගේ හදවත සිදුවූ සිදුවීම් සමුදායත් සමඟ රිදී ඇති බැව් ඇගේ මලානික ස්වරූපය හමුවේ වටහාගෙනය. 

“ඔයා ෆ්බී ඉන්ස්ටා බැලුවේ නැද්ද මේඝ..?”  

“මන් දැක්කා.. ඉතින් ඔයා සතුටු වෙන්න ඕනෙනේ දරුවෝ.. ඔයාගේ අප්පච්චි රටක් ඉස්සරහම ඔයා එයාගේ දුව කියලා කිව්වනේ..” 

කෛලාශා වහා ඔහුගේ පපුතුරෙන් මිදී යළිත් කඩා වැටුනේ පෙර ඇය අසුන්ගෙන සිටි බංකුව මතටය. ඇයට කෑ ගසා හඬන්නට සිතෙනා තරමට හදවත තුළ පැතිර ඇත්තේ වේදනාවකි. කළකිරීමකි. පසුතැවීමකි.

“මට සතුටු නෑ මේඝ.. මට සතුටු වෙන්න බෑ.. අක්කලා දෙන්නා මන් ගැන මොනවා හිතයිද..? නරේන්ද්‍රා ආන්ටි මොනවා හිතයිද..? ඔයාගේ අම්මයි අප්පච්චිටයි මන් මූණ දෙන්නෙ කොහොමද..? මට රටේ ලෝකෙ මිනිස්සු කියන කතා වැඩක් නෑ ඒත් මාව කිසිකෙනෙක් ගණන් නොගත්තට මගේ පවුල කියන කුලකය ඇතුළේ ඔය හැමෝම ඉන්නවනේ..” 

ඇය නොසන්සුන්ව පැවසුවේ එතරමට මේ වේදනාව බරැති බව ඇගේ සන්සුන් මනසට දරාගත නොහැකි නිසාවෙනි. ඇගේ වදන් අභිමුව සේම ඇගේ හැසිරීම අභිමුව මොහොතක⁣ට මේඝ වරුසවිතාන පවා ගොළු විය. ඇගේ පසින් ඇය සාධාරණ වුවද සමුද්‍ර මඬුගල්ල මෙදින සිදුකල ක්‍රියාව නිවැරදි යැයි මේඝ පවා අනුමත කළේය.

“සනූ.. සනූ.. රිලැක්ස් වෙන්න.. ප්‍රශ්න දිහා හැම තිස්සෙම බරපතල විදිහට බලන්න එපා..” 

ඔහු ඇය සමීපයෙන් අසුන්ගෙන යළිත් වරක් ඈ වැළඳගත්තේ මෙවන් අවස්ථාවක කෛලාශාට අවැසි ඇය තනිවී නොමැති බව හඟවනා උණුසුමක් බැව් හෙතෙම දන්නා නිසාවෙනි. එතරමට මේඝ වරුසවිතාන දෑ සමන් මලක් වන් පිවිතුරු යුවතියට ප්‍රේම කරන්නේය.

“අනේ මට අප්පච්චි ගැන දුකයි මේඝ..” ඈ පැවසුවේ හැඬුම්බර හඬිනි.

“සනූ ඔයා දන්නවනේ බබෝ.. යමීශා අනීශා ගැන ඔයා හිතුවට එයාලා ඔයාව කෙයාර් කරන්නෙ නෑ.. එතකොට අපේ නැන්දි කියන්නෙ තනිකරම රෝස බෝම්බයක්නෙ.. අනික ඔයා හොඳටම දන්නවා මගේ අම්මයි අප්පච්චියි කවුද කියන්න.. එයාලා මටත් වැඩිය ඔයාට ආදරෙයි අනික මාමා කියපු ඔය ඇත්ත අපි ෆැමිලි එකක් විදිහට දැනගෙන හිටිය දේනෙ.. එච්චර හිතන්න එපා..”

ඔහු මෘදු වදනින් ඇගේ සිත සනසන්නට වූයේ ඇගේ නළලත මත හාදු කිහිපයක් තවරමිනි.

“මන් ඕවර් තින්කින් කියලා ඔයා දන්නවනේ..” 

මොහොතක⁣ට සැනසුන ඈ සිහින් හඬින් පැවසුවේ දෑසට පිරී ඇති කඳුළු බිඳු මේඝගේ ශ්වේත පැහැ කමිසය තුළ සඟවමිනි.

“ඒකනේ ඔයා රයිටර් කෙනෙක් උනේ.. රයිටර්ස්ලා ඕවර් තින්කින් නොවී බෑනේ..” 

මේඝගේ මුවෙහි ඇඳී ගියේ සිහින් හසරැල්ලකි. ඇයද පෙරළ හසරැල්ලක් නැඟුවේ ඔහුගේ සිතට උණුසුම් හැඟුමින් පුරවමිනි.

“සනූ බබා හැමදේම හොඳින් වෙයි.. ඔයා කලබල නොවී ඉන්නකෝ.. බලද්දි අපේ මාමා පුදුම වාසනාවන්තයෙක්නෙ.. වරා ආන්ටිත් පැලෙන්න ආදරේ කලා වගේම එයාගේ දුවත් අප්පච්චිට පුදුම ආදරයක්නෙ තියෙන්නෙ.. ඉරිසියයි මට නම්..” 

ඔහු පැවසුවේ යළිත් වරක් යුවතියගේ නළලත මත හාදුවක් තබමිනි.

“මට ඉන්න එකම නෑයා එයා විතරනේ..” ඇගේ හඬ යළිත් හැඬුම්බර විය.

“මන් දන්නවා බබෝ ඒත් මතක තියාගන්න ඔයාට අපිත් ඉන්නවා කියලා.. හරි හරි දැන් ඔය ඔක්කොම දුක හේදිලා යන්නත් එක්ක අපි අද ඩිනර් එකට එළියට යමු.. ජනප්‍රිය ලේඛිකා කෛලාශා මඬුගල්ලගේ අතිසාර්ථක දහතුන්වෙනි කෘතිය පැමිණීමේ සතුට සමරමු..” 

ඔහු නළුවෙකු සේ රඟදක්වමින් අවසන් වදන් පවසන කල කෛලාශාගේ උස් හඬින් සිනාසුනේ මොහොතක⁣ට සියලු වේදනාවන් පසෙකින් තබමිනි. 

“ඇත්තටම ඔයාට තිබුනේ බිස්නස් කරන්න නෙමෙයි ඇක්ටර් කෙනෙක් වෙන්න..” 

ඇය එපමණක් පවසා ඔහුගේ අධිසුඛෝපභෝගී රථයේ ඉදිරි අසුනෙහි අසුන් ගත් අවසන මේඝ විසින්ම විවර කරදුන් පිටුපස අසුනට ලලිතා පැමිණ අසුන් ගත්තාය. ඉන් තත්පර කිහිපයකට පසුව ඔවුන් තිදෙනා රැගත් මේඝ වරුසවිතානගේ රථය මහවැලි කේන්ද්‍රයෙන් පිටව ගියේය.

(මතු සම්බන්ධයි)

World News

Send your contact Details Today