හික්කඩුව සහ දොඩම්දූව ප්‍රදේශවල මුහුදේ හමු වූ තෙල් පැල්ලම් සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නවතම තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති සමන්ත ගුණසේකර සඳහන් කළේ, හමුවූ තෙල් පැල්ලම් ඉතා කුඩා ප්‍රමාණයේ බවයි.
එමෙන්ම එම වෙරළ ප්‍රදේශවලට තෙල් බැරල් හතරක් ගොඩගසා තිබූ බවත්, එම පැල්ලම් බොහෝවිට ලිහිසි තෙල් වර්ගයකින් පැතිරී තිබිය හැකි බවත් ඔහු පැවසීය.
වෙරළෙන් ලබාගත් තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත යොමු කර ඇති බවද සඳහන් කෙරුණා.
මෙම තෙල් බැරල් පැමිණ ඇත්තේ කුමන නැවකින්ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැති අතර, අද හමු වූ බැරලය බොහෝ සෙයින් විනාශයට පත්ව තිබූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එම බැරල්වලින් තෙල් පැතිරී තිබිය හැකි බවට සැක පළ කරන අතර, සම්බන්ධ සියලු ආයතන එක්ව වෙරළ තීර පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර ඇති බවද සඳහන් වෙයි. මේ වනවිට තෙල් පැල්ලම්වලින් 99%කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ඇති බව ද කියා සිටියා.
මීට අමතරව සපත්තුවක් සහ ජීවිත ආරක්ෂක බෝට්ටුවක කොටසක් ද හික්කඩුව වෙරළට ගොඩගසා තිබූ බව සඳහන් වේ.
අද දිනයේ දී ගැඹුරු මුහුදේ ද නිරීක්ෂණයක් සිදුකර තිබූ අතර එහිදී අලුත් තොරතුරු කිසිවක් හමු නොවූ බව ද සභාපතිවරයා පැවසීය.
හික්කඩුව, සීනිගම, දොඩම්දූව, හබරාදූව, හිනිදුම සහ ගාල්ල වෙරළ ප්‍රදේශ නිරන්තරයෙන් ඡායාරූප මගින් නිරීක්ෂණය කරමින් පවතින අතර එම කටයුතු සඳහා ගුවන් හමුදාවේද සහාය ලබාදෙන බව සඳහන් වෙයි.
මෙම තෙල් පැල්ලම් පිළිබඳව පළමුව වාර්තා වී ඇත්තේ ඊයේ දිනයේදී වන අතර, මෙතෙක් කැස්බෑවන්, ඩොල්ෆින් හෝ මත්යයන්ට හානි සිදුවූ බවට කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.