තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව ආධාර හා අනුබල ලබාදුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ, අපරාධයෙන් පසුව වෙඩික්කරුවන්ගෙන් එක් අයෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන යාමට මෙම සැකකරුවන් සහාය ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 39 සහ 53 වයස්වල පසුවන අතර, ඔවුන් ඉබ්බාගමුව සහ මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම, සැකකරුවන්ගෙන් එක් අයෙකු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබාදුන් මුදල් භාවිත කර මිලදී ගත් බස් රථයක් මඟින් වෙඩික්කරු ප්‍රවාහනය කර ඇති බවටද හෙළිවී තිබේ. අදාළ බස් රථයද විමර්ශන සඳහා පොලීසිය භාරයට ගෙන ඇත.
පසුගිය පෙබරවාරි 13 වැනිදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට සහාය දුන් සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරයි.