Latest News

කාන්තාවන්ගේ ශ්‍රමය අගයන සාධාරණ සමාජයක් සඳහා ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක් අවශ්‍යයි – අගමැති හරිනි අමරසූරිය

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


කාන්තාවන්ගේ ශ්‍රමය සම්මානයට ලක්වන සාධාරණ සමාජයක් හා සුරැකුම් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජාතික සුරැකුම් ප්‍රතිපත්තියක් (National Care Policy) සකස් කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ජාතික සුරැකුම් පද්ධතියක් සකස් කිරීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව ගැන අදහස් දක්වමින් අද (05) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කළාය.
කාන්තා දිනයට සමගාමීව කාන්තා සංසදය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමට ලැබීම සතුටට කරුණක් බවද ඇය සඳහන් කළාය.
තමන් පාර්ලිමේන්තුවේ මංගල කතාව සිදු කළ අවස්ථාවේ සුරැකුම් ආර්ථිකය පිළිබඳ කතා කළ විට එය නව මාතෘකාවක් වූ බවත්, එදා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩු වූ බවත් අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. කෙසේ වෙතත් වසර කිහිපයකට පසු එම මාතෘකාව පිළිබඳ සංවාදය ශක්තිමත් වී ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරිපත් කිරීමට හැකි තත්ත්වයක් උදාවී තිබීම සතුටට කරුණක් බවද ඇය පැවසීය.
අද වනවිට පළාත් පාලන ආයතන, ප්‍රජා සංවිධාන, රාජ්‍ය සේවය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය වැඩි වී ඇති බවත් එවැනි පසුබිමක මෙවැනි වැදගත් මාතෘකාවක් පිළිබඳ සංවාදයක් ගොඩනැගීම අතිශය වැදගත් බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
කාන්තාවන්ගේ සහභාගිත්වය සමාජයේ සියලු ක්ෂේත්‍රවල ශක්තිමත් කිරීම සඳහා ඇය පුරවැසියෙකු ලෙස සමාන හා ගෞරවණීය ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය පිළිගැනීමත්, එයට බාධා වන ප්‍රධාන අභියෝග ඉවත් කිරීමට පියවර ගැනීමත් වැදගත් බවද ඇය පෙන්වා දුන්නාය.
එමෙන්ම සමාජ මාධ්‍ය සහ මාධ්‍ය අවකාශ තුළද කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව තහවුරු වන පරිදි වටපිටාවක් නිර්මාණය විය යුතු බවත්, එය නීතිමය ක්‍රියාමාර්ග පමණක් නොව සමාජ පරිවර්තනයක් මගින් සිදු විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

World News

Send your contact Details Today