රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබේ.
පෙත්සම්කරු සඳහන් කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත හැක්කේ රටේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවයට හානි කරන ක්‍රියාකාරකම්වල නිරත වන පාර්ශවයන්ට හෝ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩුව පෙරළා දැමීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පමණක් බවයි. නමුත් සුරේෂ් සලේ මහතාට එවැනි චෝදනා කිසිවක් එල්ල වී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය රටේ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව ක්‍රියා කළ අවස්ථාවලදී මෙන්ම 2022 වසරේ පැවති අරගලයට එරෙහිවද මෙම පනත භාවිතා කළ හැකි බවත් පෙත්සම්කරු සඳහන් කරයි. එහෙත් පාස්කු ප්‍රහාරය එවැනි තත්ත්වයකට අයත් නොවූ අතර එය ආගමික අන්තවාදය මත සිදුවූ ක්‍රියාවක් ලෙස කරුණු ඉදිරිපත් වී ඇති බවද ඔහු පැවසීය.
එමෙන්ම සුරේෂ් සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.