Latest News

ජාත්‍යන්තර මුහුදේ ධීවරයින්ගේ ආරක්ෂාවට විශේෂ උපදෙස් මාලාවක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ගල්ෆ් කලාපය ආසන්නයේ පවතින යුධමය තත්ත්වය සහ මෑතකදී ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුවූ නෞකා අනතුර සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට බහුදින ධීවර යාත්‍රා 2000ත් 2500ත් අතර ප්‍රමාණයක් බෙංගාල බොක්ක, කොකෝස් දූපත් දක්වා වූ ඉන්දියන් සාගරය, සීෂෙල්ස් ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශ සහ අරාබි මුහුද ඇතුළු ප්‍රදේශවල දෛනිකව ධීවර කර්මාන්තයේ නිරත වන බවයි.
පවතින තත්ත්වය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවලට කිසිදු ආකාරයේ බලපෑමක් වාර්තා වී නොමැති බවද ඔහු පැවසීය. යුධමය ක්‍රියාකාරකම් නිශ්චිත ඉලක්ක පදනම් කරගෙන සිදු වීම නිසා අපගේ ධීවර යාත්‍රා සඳහා සෘජු තර්ජනයක් නොමැති බවද දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය බව සඳහන් වේ.
කෙසේවෙතත්, ධීවරයින්ගේ සහ යාත්‍රා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කිහිපයක උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වීම, යුධ කටයුතු සම්බන්ධ යැයි සැකකෙරෙන යාත්‍රා ආසන්නයට නොයාම, වෙනත් යාත්‍රා සමඟ භාණ්ඩ හුවමාරු හෝ ගනුදෙනු වලින් වැළකීම සහ සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කිරීම වැනි කරුණු දැඩිව පිළිපදින්නැයි දැනුම් දී ඇත.
එමෙන්ම ධීවර කටයුතු අවසන් වූ වහාම නැවත ගොඩබිමට පැමිණීම ද වැදගත් බවද අවධාරණය කරයි. හදිසි අවස්ථාවලදී සහාය ලබා ගැනීම සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ ගොඩබිම පිහිටි ගුවන්විදුලි මධ්‍යස්ථාන පැය 24 පුරා ක්‍රියාත්මකව පවතින බව සඳහන් වේ.
තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ සමුද්‍රීය සෝදිසි හා ගලවා ගැනීමේ මධ්‍යස්ථානය (Colombo MRCC) ද ධීවරයින්ට අවශ්‍ය සහාය ලබාදීමට පැය 24 පුරා සූදානමින් පවතින බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව 6215.00 kHz, 8291.00 kHz සහ 4225.00 kHz යන සංඛ්‍යාත හරහා Colombo MRCC මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ විය හැකි බව ද දැනුම් දී තිබේ.
මෙම උපදෙස් සැලකිල්ලට ගනිමින් වැඩි සැලකිල්ලකින් ධීවර කටයුතුවල නිරත වන ලෙස සියලු බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන් සහ ධීවර කාර්මිකයින්ගෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

World News

Send your contact Details Today