බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට (කටුනායක) සිට මැදපෙරදිග රටවල් වෙත පියාසර කිරීමට නියමිත සියලු ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමිත් රබුක්වැල්ල ප්‍රකාශ කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම කරුණු පිළිබඳව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකන් ගුවන් සේවය ෆට්ස් එයාර් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා ආයතන මෙන්ම ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන විදේශීය ගුවන් සේවාවන් වන එමිරේට්ස් , එටිහාඩ් , ෆ්ලයි ඩුබායි , සෞදියා , ඕමාන් එයාර් සහ කටාර් වැනි විදේශීය ගුවන් සේවා නියෝජිතයන් සමඟ පෙබරවාරි 28 දින පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.
එමෙන්ම මැදපෙරදිග රටවල් වෙත ගමන් කිරීමට සූදානම් වී සිටින මගීන් කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් වැළකී, තමන්ගේ ගුවන් සේවා ආයතන හෝ ගුවන් තොටුපොළ සමඟ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස ද උපදෙස් ලබා දී ඇත.
මේ අතර චීනය ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල සිට මැදපෙරදිග වෙත පිටත්ව ගිය ගුවන් යානා කිහිපයක් වත්මන් තත්ත්වය හේතුවෙන් සිය ගමනාන්ත වෙත ළඟා වීමට නොහැකිව තිබේ. එවැනි යානා හදිසි ගොඩබැසීම් සඳහා බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සූදානම් කර ඇති බව ද කපිතාන් දමිත් රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේය.