කිසිදු හේතුවක් මත අමෙරිකානු පුරවැසියන් ඉරානයට ගමන් නොකළ යුතු බවත්, මේ වනවිට එරට රැඳී සිටින අමෙරිකානුවන්ට හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවිය යුතු බවත් ඇමරිකානු රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, පුද්ගලයන් අයුක්තිසහගත ලෙස රඳවා තබා ගන්නා රාජ්‍ය අනුග්‍රහය ලැබූ රටක් ලෙස ඉරානය නම් කර ඇති බව සඳහන්.
මීට වසර 47කට පෙර ඉරානයේ බලය අල්ලා ගත් පාලන තන්ත්‍රය සමඟ, අයතුල්ලා කොමේනිගේ අනුමැතිය යටතේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රාණ ඇපයට ගත් සිද්ධියෙන් ඔවුන්ගේ බලය තහවුරු වූ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
දශක ගණනාවක් තිස්සේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අහිංසක අමෙරිකානුවන් මෙන්ම වෙනත් රටවල පුරවැසියන් ද අයුක්තිසහගත ලෙස රඳවා තබා ගැනීමට ඉරානය කටයුතු කර ඇති බව ඇමරිකාව චෝදනා කරයි.
විදේශ රටවල වැරදි ලෙස රඳවා තබා ගන්නා අමෙරිකානුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපති Donald Trump විසින් පසුගිය කාලයේ විධායක නියෝගයක් නිකුත් කර තිබුණා. එයට අදාළව කොන්ග්‍රස් මණ්ඩලය “2025 වැරදි සහගත රඳවා තබා ගැනීම්ට එරෙහි පනත” ද සම්මත කර තිබෙනවා.
එම නීතිය යටතේ, ඉරානය එවැනි රටක් ලෙස නම් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට බලය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ඉරානය මෙම ක්‍රියාවන් නවතා නොගන්නේ නම්, එරටට හෝ එරට හරහා සිදුකරන ගමන් සඳහා අමෙරිකානු ගමන් බලපත්‍ර භාවිතයට භූගෝලීය සීමා පැනවීම ඇතුළු අමතර පියවර ගැනීමට සිදුවනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
තවද, ඉරාන රජය ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීම වහාම නතර කළ යුතු අතර, එරට අයුක්තිසහගත ලෙස රඳවා සිටින සියලුම අමෙරිකානුවන් නිදහස් කළ යුතු බවත් ඇමරිකාව අවධාරණය කර තිබෙනවා.
එම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළහොත්, ඉරානයට එරෙහිව ගෙන ඇති මෙම නම් කිරීම සහ සීමා කිරීම් අවසන් කිරීමට අවස්ථාව ලැබිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.