පාකිස්තාන ගුවන් හමුදාව විසින් තලේබාන් හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රහාරය කාබුල් නගරයේ පිහිටි තලේබාන් මූලස්ථානයක් වෙත එල්ල කර ඇති බවද සඳහන් වේ. ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර දේශසීමා ප්‍රදේශවල උත්සන්න වී ඇති ගැටුම් පසුබිමක මෙම ගුවන් ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තා වේ.
මේ අතර මෙම සිදුවීම සරල දේශසීමා ගැටුමකට වඩා ඉක්මවා ගොස් විවෘත යුද්ධයක ස්වරූපයක් ගෙන ඇති බව Khawaja Muhammad Asif වන පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරන්නේ කාබුල් සහ කන්දහාර් යන නගර ඉලක්ක කරමින් පාකිස්තානය විසින් මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කර ඇති බවයි.
එසේම ඇෆ්ගනිස්තාන පාර්ශවය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ඉරිදා තම දේශසීමා ප්‍රදේශවලට පකිස්තානය එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊයේ (26) රාත්‍රියේ පාකිස්තානයට ප්‍රහාර එල්ල කළ බවයි.
එම ප්‍රහාරයන් අතරතුර පාකිස්තාන හමුදා මුරපොළවල් 10කට වැඩි සංඛ්‍යාවක් තම පාලනයට ගත් බවද ඇෆ්ගනිස්තාන බලධාරීන් සඳහන් කර ඇත.
ඒ සඳහා ප්‍රතිචාර ලෙස අද (27) අලුයම පාකිස්තානය විසින් කාබුල් නගරයේ පිහිටි තලේබාන් මූලස්ථානයක් ඉලක්ක කර ගුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.