ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපා ඇති දැඩි හිම කුණාටු තත්ත්වය හේතුවෙන් අද (23) දිනය තුළ පමණක් ගුවන් ගමන් 5,500ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයේ ඇතැම් ප්‍රදේශවලට අඟල් 22 කට අධික හිම පතනයක් වාර්තා වී ඇති අතර, ප්‍රබල කුණාටු තත්ත්වය තවදුරටත් පවතින බව සඳහන් වේ.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, ඩෙලවෙයාර්, නිව්ජර්සි සහ රෝඩ් අයිලන්ඩ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇත. ඒ සමඟ පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලි සැපයුම අහිමි වී ඇති බව ද වාර්තා වේ.
එසේම, නිව්යෝර්ක් නගරයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කර ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට අඩි 2 දක්වා හිම පතනයක් සිදුවිය හැකි බව නවතම කාලගුණ අනාවැකි පෙන්වා දෙයි.
වසර නවයකට පසු නිව්යෝර්ක් නගරය මෙවැනි ප්‍රබල හිම කුණාටුවකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.