Latest News

Messenger වෙබ් අඩවිය 2026 සිට අත්හිටුවයිද? Meta සමාගමෙන් නව පියවරක්

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි ස්වාධීන Messenger වෙබ් අඩවිය වන messenger.com 2026 අප්‍රේල් මාසයෙන් ආරම්භ වන පරිදි සම්පූර්ණයෙන්ම නවතා දැමීමට Meta සමාගම සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙයට පෙර Windows සහ Mac සඳහා ලබාදුන් Messenger ඩෙස්ක්ටොප් යෙදුම් අත්හිටුවීමට Meta විසින් ගත් තීරණයට අනුගාමීව, දැන් messenger.com වෙබ් අඩවිය ද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. මෙම වෙනස හරහා Meta සමාගම සිය පණිවිඩ හුවමාරු සේවාවන් නැවතත් ප්‍රධාන Facebook වේදිකාව සමඟ ඒකාබද්ධ කිරීමට උත්සාහ කරන බව පැහැදිලි වේ.
වාර්තා අනුව, 2026 අප්‍රේල් මාසයෙන් පසු messenger.com වෙත පිවිසෙන පරිශීලකයින් ස්වයංක්‍රීයව facebook.com/messages වෙත යොමු කරනු ඇත.
මෙම තීරණය හේතුවෙන් සක්‍රීය Facebook ගිණුමක් නොමැතිව Messenger පමණක් භාවිතා කරන පිරිසට පරිගණකයක් හරහා තම පණිවිඩ පරීක්ෂා කිරීමට හැකියාවක් නොලැබෙනු ඇතැයි ද සඳහන් වේ. එවැනි පරිශීලකයින්ට ඉදිරියේදී පණිවිඩ හුවමාරුව සඳහා භාවිතා කළ හැකි ප්‍රධාන විකල්පය Messenger ජංගම දුරකථන යෙදුම පමණක් විය හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සියලුම චැට් ඉතිහාසය ආරක්ෂිතව පවතින අතර, පරිශීලකයින් විසින් සකස් කරන ලද PIN අංකය භාවිතයෙන් ඒවා ඕනෑම අවස්ථාවක නැවත ලබාගත හැකි බව ද වාර්තා වේ.
මෙම පියවර සම්බන්ධයෙන් බොහෝ පරිශීලකයින් සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව ද සඳහන් වේ. විශේෂයෙන්ම Facebook ගිණුම් අක්‍රිය කර Messenger පමණක් භාවිතා කළ පිරිසට මෙය සැලකිය යුතු බාධාවක් වන බව කියැවේ. එසේම, Facebook හි News Feed අංගය මඟහැර සරලව පණිවිඩ හුවමාරු කිරීමට කැමති වූ පරිශීලකයින්ට ද මෙම තීරණය අවාසිදායක වන බව පෙන්වා දේ.
2008 වසරේ “Facebook Chat” ලෙස ආරම්භ වූ මෙම සේවාව, 2011 දී ස්වාධීන යෙදුමක් ලෙස වෙන් කෙරිණි. නමුත් 2023 වසරේ සිට Meta සමාගම පණිවිඩ හුවමාරු සේවාවන් නැවතත් Facebook පද්ධතිය තුළට ගෙන ඒමට ක්‍රමයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
නඩත්තු වියදම් අවම කිරීම සහ සියලුම සේවාවන් එක් වේදිකාවක් යටතේ එකතු කිරීම මෙම වෙනස පිටුපස ඇති ප්‍රධාන හේතු ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත්, Meta සමාගම විසින් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නොමැති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

World News

Send your contact Details Today