මෙක්සිකෝවේ දරුණු අපරාධකරුවකු හා දරුණු ජැලිස්කෝ නිව් ජෙනරේෂන් (CJNG) මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා වන Nemesio Oseguera Cervantes හෙවත් El Mencho, ආරක්ෂක මෙහෙයුමකදී මිය ගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ඊයේ (22) මධ්‍යම-බටහිර ජැලිස්කෝ ප්‍රාන්තයේ Tapalpa නගරයේදී ඔහුගේ ආධාරකරුවන් සහ හමුදාව අතර ඇති වූ දරුණු ගැටුම්වලදී ඔහු බරපතල තුවාල ලබා ඇති අතර, අනතුරුව මෙක්සිකෝ සිටි වෙත රැගෙන යන අතරතුරදී ඔහු මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙම මෙහෙයුමේදී El Mencho ඇතුළු CJNG කල්ලි සාමාජිකයන් සිව්දෙනකු මිය ගොස් ඇති අතර, හමුදා භටයන් තිදෙනකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.
මෙහිදී සන්නද්ධ රථ, රොකට් විදිනයන් ඇතුළු නවීන ගිනිඅවි රැසක් හමුදාව භාරයට ගෙන ඇති අතර, මෙම මෙහෙයුම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු ලබා දී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය විසින් බවයි සඳහන් වන්නේ.
එසේම මීට ප්‍රතිචාර වශයෙන් CJNG කල්ලි සාමාජිකයන් ප්‍රාන්ත අටක ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කරමින්, මෝටර් රථ ගිනි තබමින් සහ මාර්ග බාධක යොදමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් පර්ඩෝ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසයි.
59 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියකු වන El Mencho, අමෙරිකාවට කොකේන්, මෙතම්ෆෙටමින් සහ ෆෙන්ටැනයිල් වැනි මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රවාහනය කරන දැවැන්ත අපරාධ ජාලයක් මෙහෙයවා ඇති අතර, ඔහුව අල්ලා දීම සඳහා අමෙරිකානු රජය ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.