ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි Mar-a-Lago නිකේතනයේ අධි ආරක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයෙ දින(22) එරට වේලාවෙන් අලුයම 1:30ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, මියගිය පුද්ගලයා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි ඔස්ටින් ටකර් මාර්ටින් ලෙස හඳුනාගෙන ඇත. ඔහු දින කිහිපයකට පෙර අතුරුදහන් වී ඇති බවට පවුලේ සාමාජිකයින් විසින් පැමිණිලි කර තිබූ බව ද සඳහන් වේ.
පරීක්ෂණ අනුව, නිකේතනයේ උතුරු දොරටුවෙන් වාහනයක් පිටව යන අවස්ථාවක සැකකරු තම රථය ධාවනය කරමින් ආරක්ෂිත කලාපයට ඇතුළු වීමට උත්සාහ කර ඇත. ඔහු සතුව shotgun වර්ගයේ ගිනි අවියක් සහ ගෑස් කෑනයක් තිබී ඇති අතර, ගිනි අවියේ අසුරණය ඔහුගේ වාහනය තුළින් සොයාගෙන තිබේ.
ආරක්ෂක අංශ ඔහුට ආයුධ බිම තැබීමට නියෝග කළද, සැකකරු ගෑස් කෑනය බිම තබා ගිනි අවිය වෙඩි තැබීමේ ඉරියව්වට ඔසවා ඇති බව වාර්තා වේ. ඒ අනුව ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදු කර ඇත.
සිදුවීම සිදුවූ අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් Mar-a-Lago නිකේතනයේ නොසිටි අතර, ඔවුන් වොෂින්ටනයේ පිහිටි ධවල මන්දිරය තුළ රැඳී සිටි බව සඳහන් වේ.
මීට පෙර ද ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව අසාර්ථක ඝාතන උත්සාහ දෙකක් වාර්තා වූ අතර, එවැනි සිද්ධියකට සම්බන්ධ වූ සැකකරුවෙකු වන රයන් රවුත්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබුණි.
මෙම සිදුවීමේ පසුබිම, සැකකරුගේ මානසික තත්ත්වය සහ ක්‍රියාවට හේතු වූ කරුණු සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.