අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෙඩික්කරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.
මූලික විමර්ශනවලට අනුව, නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරමින් ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇත්තේද මෙම සැකකරු බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම, වෙඩි ප්‍රහාරයට පෙර වෙඩික්කරුවා පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්පලකට රැගෙන ගිය පුද්ගලයෙකු තායිලන්තය වෙත පලාගොස් ඇති බවද වාර්තා වේ.
කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා, මෙම ඝාතනය සංවිධානය කළ බවට සැක කෙරෙන කරන්දෙණියේ සුද්දා ලෙස හඳුන්වන අපරාධ සැකකරුගේ සමීප සබඳතා ඇති අයෙකු බව පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව, වෙඩික්කරුවා ප්‍රවාහනය සඳහා භාවිත කළ මෝටර් රථය සහ රටින් පලාගිය පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගමන් කිරීම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අද (21) පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.