විදේශීය දූරස්ථ වෘත්තිකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්, ඩිජිටල් නෝමෑඩ් වීසා (Digital Nomad Visa – DNV) ලෙස නව වීසා කාණ්ඩයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
රටින් පිටත ස්ථාපිත සමාගම් හෝ ගනුදෙනුකරුවන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දූරස්ථව සේවය කරන වෘත්තිකයින් ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
දීර්ඝ කාලයක් රැඳී සිටීම, සංචාරක කටයුතු සම්බන්ධ වියදම් සහ ජාත්‍යන්තර දැනුම හුවමාරුව මඟින් ජාතික ආර්ථිකයට උත්තේජනයක් ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණක් වන අතර, ශ්‍රී ලංකාව ඩිජිටල් වෘත්තිකයින් සඳහා ආකර්ෂණීය දිගුකාලීන ගමනාන්තයක් ලෙස වර්ධනය කිරීමද එහි තවත් ඉලක්කයකි.
මෙම පියවර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල මිශ්‍ර ප්‍රතිචාර දක්නට ලැබේ. ඇතැම් පිරිස් එය සාර්ථක නවෝත්පාදනක් ලෙස අගය කර ඇති අතර, තවත් පාර්ශව රටේ ඩිජිටල් යටිතල පහසුකම්, විශේෂයෙන් අන්තර්ජාල සේවාවේ වේගය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව සඳහන් කරති.
