යුක්රේන යුද පිටිය තුළ රුසියානු හමුදා විසින් රහසිගතව භාවිතා කළ එලොන් මස්ක්ගේ ‘ස්ටාර්ලින්ක්’ (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ රුසියානු ඩ්‍රෝන මෙහෙයුම් සහ සන්නිවේදන ජාල දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම පියවරත් සමඟ රුසියානු හමුදා “ඇස් නොපෙනෙන බළල් පැටවුන්” මෙන් අසරණ වී ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසයි.
බටහිර සම්බාධක මධ්‍යයේ වුවද, රුසියාව විසින් ඩුබායි වැනි රටවල් හරහා හොර රහසේ ස්ටාර්ලින්ක් පර්යන්ත (Terminals) දහස් ගණනක් ගෙන්වා ගෙන තිබුණි.
මෙමගින් ඔවුන්ගේ ‘ගෙරාන්’ (Geran) ඩ්‍රෝන යානා වඩාත් නිවැරදිව මෙහෙයවීමටත්, යුක්රේන ජාම් (Jamming) උපකරණවලින් බේරී ප්‍රහාර එල්ල කිරීමටත් රුසියාව සමත් විය.
පසුගිය ජනවාරි 27 වැනිදා දුම්රියකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සඳහා ද මෙම තාක්ෂණය භාවිතා කර ඇති බව සැක කෙරේ.
කෙසේවෙතත්, යුක්‍රේනයේ නව ආරක්ෂක අමාත්‍ය මිහයිලෝ ෆෙඩෝරොව් (Mykhailo Fedorov), එලොන් මස්ක්ගේ SpaceX සමාගම සමඟ සාකච්ඡා කර නව ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත:
ඒ සෑම පැය 24කට වරක්ම යාවත්කාලීන වන අනුමත ලැයිස්තුවකට ඇතුළත් පර්යන්තවලට පමණක් අන්තර්ජාලය ලබා දීම, පැයට කිලෝමීටර් 90කට වඩා වේගයෙන් ගමන් කරන ඕනෑම ස්ටාර්ලින්ක් උපකරණයක් ස්වයංක්‍රීයව අක්‍රිය කිරීම (මෙය ඩ්‍රෝන ප්‍රහාර වැළැක්වීමට ගත් පියවරකි), රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක වන අනවසර උපකරණ අවහිර කිරීම යන කරුණු මත පදනම්වයි.
මෙම තීරණයත් සමඟ සන්නිවේදනය ඇණහිටි රුසියානු සොල්දාදුවන් ටෙලිග්‍රෑම් (Telegram) පණිවුඩ හරහා සිය නොසතුට පළ කරමින් සිටිති.
ඔවුන්ගේ හමුදා ප්‍රධානීන් රුසියානු තාක්ෂණය දියුණු කරනවා වෙනුවට ස්ටාර්ලින්ක් මතම යැපීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බවට විවේචන එල්ල වේ.
කෙසේ වෙතත්, යුද විශේෂඥයන් පවසන්නේ මෙය රුසියාවට තාවකාලික පසුබෑමක් වුවද, සති කිහිපයක් ඇතුළත ඔවුන් නැවතත් පැරණි රේඩියෝ සහ ෆයිබර් ඔප්ටික් තාක්ෂණයන් වෙත මාරු වී සිය සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් කරගනු ඇති බවයි.