Latest News

වසර 43ක් නිහඬව තිබූ ගිනි කන්දක් යළිත් ගොරවන්න ගනී

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

1982 වසරේදී පුද්ගලයින් 2,000කට අධික පිරිසක් බිලිගනිමින් මෙක්සිකෝ ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයක් සිදු කළ ‘එල් චිචෝන්’ (El Chichón) ගිනි කන්ද නැවතත් අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

මෙක්සිකෝ ජාතික ස්වාධීන විශ්වවිද්‍යාලයේ (UNAM) විද්‍යාඥයන් විසින් 2025 ජුනි සහ දෙසැම්බර් මාස අතර සිදු කරන ලද නිරීක්ෂණවලට අනුව මෙම භයානක වෙනස්කම් හඳුනාගෙන ඇත.

1) ගිනි කන්දේ ආවාටය තුළ පිහිටි විලෙහි සහ අවට ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

2) මිනිසුන්ට සහ සතුන්ට මාරාන්තික විය හැකි හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායූන් ගිනි කන්දෙන් පිටවන බව තහවුරු වී තිබේ.

3) සාමාන්‍යයෙන් ඇල්ගී ශාක නිසා කොළ පැහැයෙන් දිස්වන ආවාට විල, මේ වන විට අළු පැහැයකට හැරී ඇති අතර එය ජලයට සල්ෆේට් සහ සිලිකා මිශ්‍ර වීමේ ලක්ෂණයක් බව විද්‍යාඥයෝ පවසති.

4) දියර සල්ෆර් තටාක තුළ අසාමාන්‍ය ලෙස කුහර සහිත සල්ෆර් ගෝල නිර්මාණය වීම ද නිරීක්ෂණය කර ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මෙම ක්‍රියාකාරීත්වය භූගතව පවතින උණුසුම් පාෂාණ සහ භූගත ජලය අතර ඇති වන ප්‍රතික්‍රියාවක් නිසා (Hydrothermal activity) සිදුවන්නක් බවයි.

දැනට පවතින දත්ත අනුව ගිනිකන්ද ඇතුළත ලාවා (Magma) ගමන් කරන බවට සාක්ෂි නොමැති බැවින්, ක්ෂණික පිපිරීමක අවදානමක් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත්, 1982 වසරේදී මෙම ගිනි කන්ද පිපිරීමෙන් කෝපි වතු, පශු සම්පත් සහ මුළුමනින්ම ගම්මාන රැසක් අළු යට වැසී ගිය අයුරු මෙක්සිකෝ වැසියන් තුළ තවමත් බියකරු මතකයක් ලෙස පවතී. එම නිසා විද්‍යාඥයන් ඩ්‍රෝන යානා සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් 24 පැය පුරා මෙම ගිනි කන්ද නිරීක්ෂණය කරමින් සිටියි.

World News

Send your contact Details Today