මෙතෙක් කල් දැඩි මතධාරී නීති රීති පැවති පිලිපීනයේ, සමලිංගික යුවළයන්ට දේපළවල සම-අයිතිය හිමි කර ගත හැකි බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.
මෙය එරට ‘පවුල් නීති සංග්‍රහය’ (Family Code) සමලිංගික යුවළකගේ දේපළ අයිතිය වෙනුවෙන් භාවිතා කළ පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
මැනිලා නුවර තදාසන්න ප්‍රදේශයක ජීවත් වූ කාන්තාවන් දෙදෙනෙකු අතර තම නිවස විකිණීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම තීන්දුවට මුල් විය.
එම නිවස එක් සහකාරියකගේ නමට පමණක් ලියාපදිංචි කර තිබුණද, අනෙක් සහකාරිය එහි පිරිවැයෙන් 50%ක් දැරූ බවට සාක්ෂි ඉදිරිපත් කර තිබුණි.
පහළ උසාවි මගින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ද, ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව පසුගියදා ආපසු හැරවීය.
පිලිපීන පවුල් නීතියේ 148 වැනි වගන්තිය මගින් “නීත්‍යානුකූලව විවාහ විය නොහැකි නමුත් එකට ජීවත්වන පුද්ගලයන්ගේ දේපළ සබඳතා” පාලනය කරනු ලබයි.
ඒ අනුව එම වගන්තිය ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කම් නොකරන බවත්, එය සියලුම ආකාරයේ සහජීවනයන්ට අදාළ වන බවත් අධිකරණය ප්‍රකාශ කළේය.
පිලිපීනය යනු ලෝකයේ දික්කසාදය තහනම් කර ඇති (වතිකානුව හැරුණු විට) එකම රට වන අතර, එහි සමලිංගික විවාහ සඳහා ද නීතිමය අවසරයක් නොමැත.
මේ හේතුවෙන් එරට LGBT ප්‍රජාව මූල්‍ය, සෞඛ්‍ය සහ දේපළ සම්බන්ධ කටයුතුවලදී දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටියහ.
ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ, සමලිංගික යුවළයන් මුහුණ දෙන දේශපාලනික, සදාචාරාත්මක සහ සංස්කෘතික ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට මැදිහත් වන ලෙසයි.