කියුබාව දැනට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති බවත්, එය අමෙරිකාව විසින් පනවා ඇති “මාරක සම්බාධකවල” ප්‍රතිඵලයක් බවත් රුසියාව පවසයි.
ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේ, අර්බුදයෙන් බැටකන හවානා නුවරට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීම සඳහා රුසියාව මේ වන විට විකල්ප විසඳුම් සාකච්ඡා කරමින් සිටින බවයි.
පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, වෙනිසියුලාවේ සිට කියුබාවට ලැබෙන තෙල් සැපයුම අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේය.
මෙයට අමතරව, මෙක්සිකෝව වැනි රටවල් කියුබාවට ඉන්ධන ලබා දුන්නහොත් එම රටවලටද වෙළඳ බදු පනවන බවට ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් කියුබානු රජයට දැඩි පියවර ගැනීමට සිදුව ඇත.
1) රජයේ ආයතන සඳහා සතියකට වැඩ දින 4ක් පමණක් නියම කර ඇත.
2) විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර පාසල් පැවැත්වෙන කාලය සීමා කර තිබේ.
3) ජෙට් යානා සඳහා අවශ්‍ය ඉන්ධන (Jet Fuel) ලබා දිය නොහැකි බව කියුබාව දැනුම් දීමත් සමඟ ‘එයාර් කැනඩා’ (Air Canada) ආයතනය කියුබාව වෙත යන සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළේ, වෙනිසියුලාවේ සහ කියුබාවේ ජනතාවට තම රටේ අනාගතය තීරණය කිරීමට පූර්ණ අයිතිය ඇති බවයි.
අමෙරිකාව විසින් එල්ල කරන පීඩනය හමුවේ රුසියාව අඛණ්ඩව කියුබාව සමඟ සිටින බව ඔහු අවධාරණය කළේය.
දශක ගණනාවක සිට අමෙරිකානු සම්බාධකවලින් පීඩා විඳින කියුබාවේ ආර්ථිකය මේ වන විට සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, විදුලි බලාගාර පවත්වාගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.