බ්‍රිතාන්‍යයේ දුම්රිය රියදුරෙකු වීමට මෙතෙක් පැවති අවම වයස් සීමාව අවුරුදු 20 සිට 18 දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ.
විශ්‍රාම යන රියදුරන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඉදිරියේදී ඇති විය හැකි දැඩි සේවක හිඟයකට පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇත.
බ්‍රිතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DfT) සඳහන් කළේ මේ සඳහා වන නව නීති සම්පාදනයන් මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව ලබන ජුනි 30 වැනිදා සිට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට දුම්රිය රියදුරු වෘත්තියට පිවිසීමට අවස්ථාව හිමි වේ.
2030 වසර වන විට දැනට සේවය කරන දුම්රිය රියදුරන්ගෙන් හතරෙන් එකක් පමණ (25%) විශ්‍රාම වයසට එළඹීමට නියමිතය.
එම නිසා දැනට සේවයේ නියුතු රියදුරන් අතරින් වයස අවුරුදු 30ට අඩු පිරිස 25කින් එක් අයෙකුටත් වඩා අඩු මට්ටමක පවතී.
දුම්රිය රියදුරන් අතර කාන්තා නියෝජනය 9කින් එකක් තරම් අඩු මට්ටමක පවතින අතර, සුළු ජාතික නියෝජනයද 13%කට වඩා අඩුය.
වයස් සීමාව අඩු කිරීම හරහා මෙම ක්ෂේත්‍රයට වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය.
බ්‍රිතාන්‍ය ප්‍රවාහන අමාත්‍ය ලෝඩ් හෙන්ඩි (Lord Hendy) ප්‍රකාශ කළේ, මීට පෙර සිටම බ්‍රිතාන්‍යයේ බස් රථ සහ භූගත දුම්රිය (Tube trains) ධාවනය කිරීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වූවන්ට අවස්ථාව තිබූ බවයි.
මෙම නව තීරණය සමඟින් බ්‍රිතාන්‍යය ද ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල පවතින ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමාන වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
දුම්රිය රියදුරු සංගමයක් වන ASLEF හි ප්‍රධාන ලේකම් ඩේව් කැල්ෆ් ද මෙම තීරණයට සහය පළ කරමින් පවසා ඇත්තේ, ඉදිරි වසර පහ තුළ අවශ්‍ය වන විශාල රියදුරු සංඛ්‍යාව බඳවා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වනු ඇති බවයි.