පොලිස් අණ නොතකා ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් නවතා ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය අද (09) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ අන්දදොළ ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ විශේෂ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ලොරි රථය නවත්වන ලෙස සංඥා කර ඇත. එහෙත් රියදුරු එය නොතකා පලා යාමට උත්සාහ කිරීමත් සමඟ පොලිස් නිලධාරීන් ලොරි රථය ලුහුබැඳ ගොස් තිබේ.
ලොරි රථය දිගින් දිගටම පලා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් වැන්ඩදූව ප්‍රදේශයේදී රථයට වෙඩි ප්‍රහාර එල්ල කර එය නතර කර ගැනීමට කටයුතු කර ඇත.
පොලිසිය විසින් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා අමානුෂික ලෙස පටවා තිබූ මී ගවයින් 10 දෙනෙකු සහ ගවයින් 4 දෙනෙකු සොයාගෙන ඇත. ඉන් එක් මී ගවයෙකු ඒ වන විටත් මරා දමා තිබූ බව පොලිසිය පවසයි.
එසේම, සැකකරුවන් සන්තකයේ තිබී ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 සහ 46 යන වයස්වල පසුවන අකුරැස්ස සහ බේරුවල පදිංචිකරුවන් වේ.
වැටලීම අතරතුර ලොරි රථයේ රියදුරු සහ තවත් සැකකරුවෙකු පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.