වෙනිසියුලාවේ ප්‍රමුඛ පෙළේ විපක්ෂ දේශපාලනඥයෙකු වන හුවාන් පැබ්ලෝ ගුවානිපා (Juan Pablo Guanipa), බන්ධනාගාරයෙන් නිදහස් වී පැය කිහිපයක් ගත වීමටත් මත්තෙන් සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඉරිදා රාත්‍රියේ මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ කරකස් නුවර ලොස් චෝරොස් (Los Chorros) ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වී සිටියදීය.
හුවාන් පැබ්ලෝගේ පුත් රමෝන් පවසන පරිදි, හඳුනා නොගත් සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ පුද්ගලයන් 10 දෙනෙකු පමණ වාහන හතරකින් පැමිණ සිය පියා බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ.
ඔහු දැන් සිටින තත්ත්වය පිළිබඳව වහාම සාක්ෂි ලබා දිය යුතුයි,” යැයි ඔහු පවසා සිටී.
වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) ද මෙම සිදුවීම තහවුරු කරමින් පවසා සිටියේ මෙය රජයේ අනුදැනුම මත සිදුවූවක් බවයි.
හිටපු ඒකාධිපති නායක නිකොලස් මදුරෝ, ඇමරිකානු විශේෂ බලකායන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු, වෙනිසියුලාවේ පාලනය මේ වන විට අතුරු ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) යටතේ පවතී.
අමෙරිකානු රජයේ ඉල්ලීම්වලට අනුකූල වෙමින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් යටතේ හුවාන් පැබ්ලෝ එදිනම සවස නිදහස් කර තිබුණි.
ඔහු මීට පෙර 2025 මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ “ත්‍රස්ත කුමන්ත්‍රණයකට” සම්බන්ධ වූ බවට එල්ල වූ චෝදනා මතය.
හුවාන් පැබ්ලෝ නියෝජනය කරන ‘ප්‍රිමියර් ජස්ටිසියා’ (Primero Justicia) පක්ෂය පවසන්නේ මෙම පැහැර ගැනීමට වත්මන් පාලනය වගකිව යුතු බවයි.
අතුරු ජනාධිපතිනිය ඇතුළු රජයේ ප්‍රබලයින් තිදෙනෙකුගේ නම් සඳහන් කරමින් ඔවුන් පවසා සිටියේ හුවාන් පැබ්ලෝට සිදුවන ඕනෑම හානියක වගකීම ඔවුන් භාරගත යුතු බවයි.
අමෙරිකානු බලපෑම හමුවේ මේ වන විට වෙනිසියුලාව තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ මන්දගාමී ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ.
‘ෆෝරෝ පීනල්’ (Foro Penal) මානව හිමිකම් සංවිධානයට අනුව මේ දක්වා පුද්ගලයින් 380 කට අධික පිරිසක් නිදහස් කර ඇති අතර, තවත් සිය ගණනක් බන්ධනාගාරගතව පසුවේ.
එළඹෙන පෙබරවාරි 13 වනදා වන විට සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය පොරොන්දු වී තිබුණද, මෙම නවතම පැහැර ගැනීමත් සමඟ රටේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳව යළිත් බරපතල ගැටලු පැනනැගී ඇත.