ලොව සුපිරි ධනවතෙකු වන ඊලෝන් මස්ක් (Elon Musk) සිය SpaceX සමාගමේ මීළඟ ප්‍රධාන ඉලක්කය ලෙස සඳ මත ස්වයං-වර්ධනය වන නගරයක් (Self-growing city) ඉදිකිරීම ප්‍රකාශයට පත් කර තිබේ.
මීට පෙර අඟහරු ලොව ජනාවාස කිරීම සිය ප්‍රධාන ඉලක්කය ලෙස පැවසුවද, මානව ශිෂ්ටාචාරයේ ආරක්ෂාව වෙනුවෙන් සඳ මත නගරයක් ඉදිකිරීම වඩාත් වේගවත් සහ ප්‍රමුඛ කාර්යයක් බව ඔහු පවසයි.
ඒ අනුව 2027 මාර්තු මාසය වන විට මිනිසුන් රහිත යානයක් සඳ මත ගොඩබැස්සවීමට SpaceX සමාගම සැලසුම් කර ඇත.
මස්ක් පවසන්නේ වසර 10කට අඩු කාලයකදී සඳ මත නගරයක් බිහි කළ හැකි බවයි.
SpaceX සමාගම විසින් මස්ක්ගේම තවත් ව්‍යාපාරයක් වන xAI කෘත්‍රිම බුද්ධි සමාගම අත්පත් කරගෙන තිබේ.
මෙමගින් අභ්‍යවකාශය පදනම් කරගත් දත්ත මධ්‍යස්ථාන (Space-based data centers) ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර එය පෘථිවියේ පවතින මධ්‍යස්ථානවලට වඩා බලශක්ති කාර්යක්ෂම වනු ඇතැයි සැලකේ.
SpaceX සමාගම මෙම වසර අගදී කොටස් වෙළඳපොළට පිවිසීමට සූදානම් වන අතර, එමගින් ඩොලර් බිලියන 50ක මුදලක් රැස් කිරීමට බලාපොරොත්තු වේ. එය ඉතිහාසයේ විශාලතම පොදු කොටස් නිකුතුව (IPO) වනු ඇත.
එමෙන්ම මස්ක් සිය මෝටර් රථ සමාගම වන ටෙස්ලා හි නිෂ්පාදන ද නව දිශාවකට යොමු කරමින් සිටියි.
විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් ස්වයංක්‍රීය රොබෝවරුන් (Optimus humanoid robots) නිෂ්පාදනයට ටෙස්ලා සමාගම වැඩි අවධානයක් යොමු කර ඇත.
මේ සඳහා කැලිෆෝනියා කර්මාන්තශාලාවේ දැනට පවතින මෝටර් රථ මාදිලි දෙකක නිෂ්පාදන කටයුතු නතර කර එම ඉඩකඩ රොබෝවරුන් නිපදවීම සඳහා යොදා ගැනීමට තීරණය කර තිබේ.
අභ්‍යවකාශ තරගය තුළ චීනයෙන් එල්ල වන දැඩි අභියෝගය හමුවේ, 1972 ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු නැවතත් මිනිසෙකු සඳ මත තැබීමේ ගෝලීය සටන මෙලෙස උච්ච වෙමින් පවතී.