Latest News

ඉරානයේ ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් අත්අඩංගුවට – රට තුළ නැවතත් දැඩි නොසන්සුන්තාවක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන රජයට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ පැවැති දැවැන්ත විරෝධතාවලදී “රටේ සමාජ හා දේශපාලන ස්ථාවරත්වය බිඳදැමීමට උත්සාහ කළ බවට” චෝදනා කරමින් එරට ප්‍රමුඛ පෙළේ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයින් තිදෙනෙකු ඇතුළු හතර දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඉරාන ප්‍රතිසංස්කරණ පෙරමුණේ (Reform Front) නායිකා අසාර් මන්සූරි (Azar Mansouri), හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මොහොසෙන් අමීන්සාදේ (Mohsen Aminzadeh) සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊබ්‍රාහිම් අස්ගර්සාදේ (Ebhrahim Asgharzadeh) වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන අධිකරණ බලධාරීන් පවසන්නේ මොවුන් ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් පෙනී සිටිමින් රට තුළ “කඩාකප්පල්කාරී ක්‍රියා” මෙහෙයවා ඇති බවයි.

විශේෂයෙන්ම ඉරානය විදේශීය යුධ තර්ජනවලට මුහුණ දී සිටින අවස්ථාවක, වීදි බැස සිටින විරෝධතාකරුවන්ගේ ක්‍රියා සාධාරණීකරණය කිරීමට මොවුන් කටයුතු කළ බවට රජය චෝදනා කරයි.

ආර්ථික අර්බුදය මුල් කරගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා පසුව රජයට එරෙහි ජාතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය.

ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ විරෝධතාවලදී පුද්ගලයින් 3,117 දෙනෙකු මියගිය බවයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන (HRANA) පවසන්නේ මියගිය සංඛ්‍යාව 6,800 ඉක්මවන බවත් තවත් මරණ 11,000කට අධික සංඛ්‍යාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්ය.

මෙම අභ්‍යන්තර නොසන්සුන්තාවය හමුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් අරාබි මුහුදේ යුධ නෞකා රඳවා තැබීමටද අමෙරිකාව පියවර ගෙන තිබේ.

මෙම යුධමය වාතාවරණය සමනය කර ගැනීම සඳහා ඉරානය සහ අමෙරිකාව අතර වක්‍ර සාකච්ඡා වටයක් පසුගිය සිකුරාදා ඕමානයේදී පැවැත්වුණු අතර, ලබන සතියේදී තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත්, ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්රහීම් මූසාවි පවසන්නේ ඉරානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් මුළු කලාපයම දැවැන්ත යුද්ධයකට මැදි වනු ඇති බවයි.

World News

Send your contact Details Today