Latest News

“ගෙදරින් මට ලැබෙන වටිනාම දේ මානසික නිදහස” – අනුරාධා එදිරිසිංහ

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනුරාධා එදිරිසිංහ තමාටම ආවේණික රංගන පෞරුෂයක් ගොඩනඟා ගත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය නිර්මාණ ගණනාවක් හරහා විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ නෙත, සිත තම හැකියාවන් වෙත යොමු කරගන්නට කටයුතු කළ බව නොරහසකි. මේ දිනවල විකාශය වන පට්ටි ගෙදර ටෙලි නාට්‍යයේ නදීෂා ටීචර්ගේ භූමිකාවෙන් ඔබේ ආලින්දයට එන ඇය සමඟයි අද අපේ මේ කතාබහ.

අනුරාධා, මේ දිනවල ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද?

ජීවිතේ සාමාන්‍ය විදිහට සැහැල්ලුවෙන් සහ හොඳින් ගලාගෙන යනවා. මේ දවස්වල වැඩියෙන්ම කරන්නෙ ගෙදර අයත් එක්ක කාලය ගත කරන එක තමයි.

කලා ක්‍ෂේත්‍රය පැත්තෙන් මේ දිනවල ඔබ කාර්යබහුල වෙලා ඇති. ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද?

දැන් නම් අතිශය කාර්යබහුල කාලයක් නෙවෙයි ගතවෙන්නෙ. මේ දිනවල වෘත්තීයමය ජීවිතේ රූපගත කිරීම් විදිහට සම්බන්ධ වෙන්නෙ අනුශ්ක රසාංජන ද සිල්වාගේ පට්ටි ගෙදර ටෙලිනාට්‍යත් එක්ක විතරයි . ඊට අමතරව ‘යතුරු හිලෙන්‘ වේදිකා නට්‍යයේ පුහුණුවීම් සිද්ධවෙනවා. ඒ වගේම සුපුන් රත්නායකගේ එල්.බී.ඩබ්ලිව් ටෙලිනාට්‍යයත් විකාශ‍ය වෙමින් තියෙනවා.

මේ දිනවල විකාශය වන පට්ටි ගෙදරට ඔබේ දායකත්වය ගැන කතා කරනවා නම්?

අධ්‍යක්ෂ අනුෂ්ක රසාංජන ද සිල්වාගෙන් තමයි පට්ටි ගෙදර සඳහා මට ආරාධනා ලැබෙන්නේ. ඔහු තමයි මට කිව්වේ නදීෂා ටීචර්ගේ චරිතයට මාව තෝරගෙන ඉන්නවා කියලා. මමත් සතුටින් නදීෂා ටීචර්ගේ චරිතය භාර ගත්තා.

පට්ටි ගෙදරට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. නදීෂා ටීචර්ට විතරක් නෙවෙයි, පොදුවේ සියලු දෙනාටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය බලන්නෙ නැති පිරිසකුත් පට්ටි ගෙදර එක්ක එකතුවෙලා ඉන්නවා කියලා ප්‍රතිචාර බලද්දි තේරෙනවා. ඒක ලොකු සතුටක්.

රංගනයට පිවිසීම ඔබට තිබුණු හීනයක්ද?

එහෙම නැහැ. පුංචි කාලෙ ඉඳන්ම රංගනයට පිවිසෙනවා කියල හිතල තිබුණෙ නැහැ. නමුත් පුංචි කාලෙ ඉඳන්ම චිත්‍රපට බලන්න ගොඩක් ආසයි. එහෙම නැතුව රංගන ශිල්පිනියක් වෙනවා කියලා නම් හිතේ තිබුණෙම නැහැ.

ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?

වෙ‍ෙළඳ දැන්වීමක් හරහා තමයි මම මුලින්ම රංගනයට පිවිසෙන්නේ. ඊට පස්සෙ අනෝජා වීරසිංහ මහත්මියගේ අභින පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඊටත් පස්සෙ ඉඳන් තමයි ටෙලිනාට්‍යවලට දිගින් දිගටම සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පටන් ගත්තේ.

ඔබේ පාසල් කාලය ගැන මතක් කළොත්?

හැම ළමයෙක්ටම වගේ හරි සුන්දර පාසල් කාලයක් මටත් තිබුණා. මුලින්ම ගියේ පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට. පාසල් කාලෙ මම හරි දඟයි. ඉගෙන ගන්න වැඩවලට අමතරව පාසලේ බාහිර වැඩත් ගොඩක් කළා. සෞන්දර්ය විෂයක් විදිහට තෝරගත්තෙ සංගීතය. ඒ වගේම ක්‍රීඩාව පැත්තෙනුත් බාහිර වැඩ කළා.

ඔබ චරිත පිළිබඳව තෝරාගැනීමේදී ඒ පිළිබඳව ගැඹුරින් සොයා බැලීමක් කරනවද?

පිටපත හොඳින් කියවලා, අධ්‍යක්ෂවරයා, පිටපත් රචකයා හරහා චරිතය ගැන තවදුරටත් අවබෝධයක් ලබාගෙන තමයි චරිතයක් කරන්න භාර ගන්නේ.

රංගන කටයුතුවලට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. එයාලට මට දෙන්න පුළුවන් උපරිම දේ තමයි මගෙ මානසික නිදහස. මට මං විදිහට ජීවත් වෙන්න දෙන එක. ඒ හැමදේම ඇතුළේ මම මගෙ වැඩකටයුතු නිදහසේ සැහැල්ලුවෙන් කරනවා. ගෙදරින් මට ලැබෙන වටිනාම දේ මානසික නිදහස කියලයි මං හිතන්නේ.

අද වෙනකොට ඔබ බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ පිළිබඳව ඔබට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද?

ඒක ඇත්තටම ලොකු ආශීර්වාදයක්. මම යන ගමනට ලොකු ශක්තියක් වගේම වාසනාවක්. ප්‍රේක්ෂකයන්ගේ ආදරය තමයි ලොකුම වත්කම වගේම ලොකුම සම්මානය.

අනුරාධා ආදරය කියන දේ දකින්නේ කොහොමද?

මට හිතෙන්නෙ ආදරය කියන්නෙ දැනෙන්න ඕන දෙයක්. ඒ වගේම හරිම සුන්දර හැඟීමක්.

ඉදිරියේදී අනුරාධාව දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කතා කරමු?

ශ්‍යාම් ෆර්නෑන්ඩු අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නිර්මාණයක් ඉස්සරහට එන්න තියෙනවා . ඊට අමතරව සුපුන් රත්නායකගේ සහ ශාන් ජයරත්නගේ ටෙලි නිර්මාණත් එන්න තියෙනවා.

World News

Send your contact Details Today