Latest News

රොනාල්ඩෝ, සෞදි ප්‍රෝ ලීග් පාපන්දු තරගාවලියේ පිට පිට දෙවැනි තරගයත් මගහරියි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි ප්‍රෝ ලීග් පාපන්දු තරගාවලියේ අල්-නසර් කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සිය කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරග දෙක සඳහාම සහභාගී නොවීම ක්‍රීඩා ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

පසුගිය සිකුරාදා අල්-ඉත්තිහාඩ් කණ්ඩායමට එරෙහිව පැවති තීරණාත්මක තරගයේදී මෙන්ම, පසුගිය සඳුදා අල්-රියාද් කණ්ඩායම සමඟ පැවති තරගයේදී ද රොනාල්ඩෝ සංචිතයේ සිටියේ නැත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, රොනාල්ඩෝ මෙම තරග මගහැර ඇත්තේ ඔහුට ඇති වූ ආබාධයක් හෝ අසනීප තත්ත්වයක් නිසා නොවේ.

අල්-නසර් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදල (PIF) විසින් ක්‍රීඩකයන් මිලදී ගැනීමේදී (Transfers) දක්වන උදාසීන ප්‍රතිපත්තිය පිළිබඳව රොනාල්ඩෝ සිය දැඩි අසතුට පළ කර ඇති බව පැවසේ.

විශේෂයෙන්ම, සිය ප්‍රතිවාදී කණ්ඩායමක් වන ‘අල්-හිලාල්’ කණ්ඩායම කරීම් බෙන්සීමා වැනි සුපිරි ක්‍රීඩකයන් තමන් වෙත ආකර්ෂණය කරගනිද්දී, තම කණ්ඩායම ශක්තිමත් කිරීමට පාලනාධිකාරිය පියවර නොගැනීම රොනාල්ඩෝගේ කෝපයට හේතු වී ඇත.

රොනාල්ඩෝගේ නම සඳහන් නොකරමින් සෞදි ප්‍රෝ ලීග් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “කිසිදු ක්‍රීඩකයෙකු ලීගයට වඩා ලොකු නොවන” බවයි.

සෑම සමාගමක්ම සහ කණ්ඩායමක්ම එකම නීති මාලාවක් යටතේ ක්‍රියාත්මක විය යුතු බවත්, ක්‍රීඩකයන් මිලදී ගැනීම සහ වියදම් කිරීමේ තීරණ ගනු ලබන්නේ අදාළ සමාජවල ස්වාධීන මණ්ඩල මගින් බවත් ඔවුන් අවධාරණය කළහ.

රොනාල්ඩෝ කළමනාකාරීත්වය සමඟ අමනාපයෙන් පසුවුවද, ඔහු කණ්ඩායමෙන් ඉවත් වීමේ සූදානමක් නොමැති බව ESPN වාර්තා කරයි.

ඔහු 2025 ජුනි මාසයේදී අල්-නසර් කණ්ඩායම සමඟ වසර දෙකක කොන්ත්‍රාත් දීර්ඝ කිරීමකට අත්සන් තැබූ අතර, මේ වන විට ඔහු මෙම තරග වාරයේදී කණ්ඩායම වෙනුවෙන් ගෝල 17ක් රැස් කර තිබේ.

අල්-නසර් ප්‍රධාන විධායක නිලධාරී හොසේ සෙමේඩෝ රොනාල්ඩෝගේ මෙම නොපැමිණීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙය ඉදිරියේදී කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වේද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙති.

World News

Send your contact Details Today