බංග්ලාදේශයේ රාජ්ෂාහි (Rajshahi) ප්‍රදේශයෙන් වාර්තා වූ නිපා වෛරසය ආසාදනය වූ රෝගියෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තහවුරු කරයි.
මියගිය රෝගියා බංග්ලාදේශයේ නවගාඕන් (Naogaon) දිස්ත්‍රික්කයේ පදිංචි 40-50 අතර වයස් කාණ්ඩයේ පසුවන කාන්තාවකි.
ජනවාරි 21 වනදා උණ සහ ස්නායු රෝග ලක්ෂණ පෙන්නුම් කළ ඇයව ජනවාරි 28 වනදා රෝහල් ගත කර ඇති අතර, එහිදී ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී ඇයට නිපා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.
පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඇය මෑතකදී ඖෂධයක් ලෙස විශ්වාස කරමින් අමු රටඉඳි යුෂ (Raw date palm sap) පානය කර ඇති බවයි.
ඇය ඇසුරු කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් අතරින් මෙතෙක් නව රෝගීන් වාර්තා වී නොමැත.
කෙසේවෙතත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ජාත්‍යන්තර මට්ටමින් මෙහි අවදානම තවමත් අවම මට්ටමක පවතින බවයි.
මේ අතර පසුගිය සතියේ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ද නිපා රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ චීනය සහ ගිනිකොනදිග ආසියානු රටවල් කිහිපයක් ගුවන් තොටුපළවල සෞඛ්‍ය පරීක්ෂණ දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
නමුත් වර්තමාන තත්ත්වය මත වෙළඳ හෝ සංචාරක සීමා පැනවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් නිර්දේශ කර නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා ප්‍රකාශ කළේ මෙය “දුර්ලභ නමුත් බරපතල” රෝගයක් බවයි.
බලධාරීන් දැනටමත් රෝග විමර්ශන කටයුතු සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.