රුසියානු යුද හමුදා බුද්ධි අංශයේ (GRU) නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙයෙව් (Lt. Gen. Vladimir Alekseyev) ඉලක්ක කරගනිමින් මොස්කව් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලබා ඇති බව රුසියානු විමර්ශන කමිටුව නිවේදනය කරයි.
මොස්කව් නුවර වොලොකොලම්ස්කෝයි (Volokolamskoye) මහා මාර්ගය අසල පිහිටි නේවාසික ගොඩනැගිල්ලක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
හඳුනා නොගත් තුවක්කුකරුවෙකු විසින් ජෙනරාල්වරයා වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, ඉන් අනතුරුව ප්‍රහාරකයා එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඇලෙක්සෙයෙව් වහාම රෝහල්ගත කර ඇති අතර, මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු විමර්ශන කමිටුව විසින් අපරාධ නඩුවක් ගොනු කර ඇති අතර, එය “ඉහළ පෙළේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක්” ලෙස නම් කර ඇත.
විමර්ශන නිලධාරීන් මේ වන විටත් අදාළ ස්ථානයට ගොස් සාක්ෂි එකතු කරමින් සිටියි.
අමෙරිකානු කොන්ග්‍රස් පර්යේෂණ සේවයේ 2025 වාර්තාවලට අනුව, ව්ලැඩිමීර් ඇලෙක්සෙයෙව් යනු රුසියානු ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ (GRU) පළමු නියෝජ්‍ය ප්‍රධානියාය.
ඔහු රුසියානු ආරක්ෂක අංශ තුළ ඉතා බලගතු මෙන්ම තීරණාත්මක නිලධාරියෙකු ලෙස සැලකේ.
යුක්රේන යුද්ධය සහ රුසියාවේ බාහිර බුද්ධි මෙහෙයුම් සම්බන්ධයෙන් මොහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයෙකු බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.