Latest News

කුණාටුවක් හේතුවෙන් පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ පුද්ගල මරණ සහ අතුරුදන්වීම්

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දැඩි වර්ෂාපතනය සහ ප්‍රබල සුළං සමඟ පැමිණි ‘ලියනාඩෝ’ (Storm Leonardo) කුණාටුව හේතුවෙන් අයිබීරියානු අර්ධද්වීපයේ පිහිටි ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන රටවලට දැඩි ජීවිත සහ දේපළ හානි සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

එමෙන්ම දකුණු පෘතුගාලයේ ඇල්කසර් ඩෝ සාල් (Alcacer do Sal) නගරයේ සිදුවූ දරුණු ජලගැලීම්වලට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බදාදා රාත්‍රියේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ගංවතුරට හසුවීමෙන් ඔහු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලිස්බන් අගනුවරට නුදුරින් පිහිටි මෙම නගරයේ ඇතැම් ස්ථානවල ජල මට්ටම මීටර් 2ක් (අඩි 7ක්) පමණ උසට ඉහළ ගොස් තිබේ.

මේ අතර ස්පාඤ්ඤයේ දකුණුදිග අන්දලුසියා (Andalusia) කලාපයේ පවතින ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 4,000කට ආසන්න පිරිසක් තම නිවාසවලින් ඉවත් කර ඇත.

එසේම, ගංවතුර හේතුවෙන් මාර්ග දුසිම් ගණනාවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ස්පාඤ්ඤයේ මලගා ප්‍රදේශයේ ටර්විල්ලා (Turvilla) ගඟට ඇද වැටුණු කුඩා දැරියක සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. සිය සුරතල් බල්ලා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඇය සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ස්පාඤ්ඤ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් දකුණුදිග ස්පාඤ්ඤයට පනවා තිබූ දැඩි අවදානම් නිවේදනය (Highest alert) ඉවත් කර ඇති නමුත්, එළඹෙන සති අන්තයේදී තවත් කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

පෘතුගාලයේද ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් තද වැසි අපේක්ෂා කෙරේ.

පසුගිය ජනවාරි මාසයේදී ද මෙම කලාපයට බලපෑ ප්‍රබල කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් විශාල දේපළ හානියක් සිදුවිය.

World News

Send your contact Details Today