Latest News

“ආධුනිකයෙක් කියන හැඟීම නිසා කැමරාවට බය හිතුණා” – මියැසි සන්දීපනී

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියැසි සන්දීපනී යනු කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් දක්ෂ, හුරුබුහුටි රංගන ශිල්පිනියකි. කුඩා කල සංගීත විෂයෙහි දස්කම් දැක්වූ ඇය මේ වන විට රංගනයේ ද දස්කම්පාමින් සිටින්නීය. වස්සානයේ ප්‍රේමයෙහි ශනුල්‍යා, මල් පිපෙන කාලේහි බන්ටිගේ අක්කා, රාවණාහි මීනක්ෂී, නිකිණි කුසුම්හි ක්‍රිෂ් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත් ඇය රඟපෑ භූමිකාය. ඉදිරියේදී අලුත්ම නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන්නට බලාපොරොත්තුවෙන් සිටින ඇය අද අපේ කතාබහට එක්වූවාය.

පුංචි කාලෙ ඉඳන්ම කලා ක්ෂේත්‍රයට එන්න ආසාවක් තිබුණාද?

කලා ක්ෂේත්‍රයට එනවා කියලම අදහසක් තිබුණෙ නෑ.

නමුත් මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයට ආසා කළා. මේ නිසා මවුපියන් මාව සංගීත විෂය කෙරෙහි යොමු කළා. සංගීතය පැත්තට තමයි ලොකු ආසාවක් තිබුණේ.

ඔබ කලාවට පිවිසෙන්නෙ කොහොමද?

මුලින්ම මම රියැලිටි වැඩසටහනක සිටියා.

එතනදි චමුත්ශ්‍රී කියන ගීත රූප රචනා කරන අධ්‍යක්ෂවරයා මාව දැකලා ඔහුගේ නිර්මාණවලට කතා කළා.

එතැනයි මගේ කලාවට පිවිසීම සිදු වන්නේ.

මුලින්ම කැමරාවට මුහුණ දුන්න අත්දැකීම මතකද?

ඔව්. මට රංගනයේ අත්දැකීම් තිබුණෙ නැති නිසා මුලින්ම මගේ හිතේ බයක් ඇතිවුණා.

ආධුනිකයෙක් කියන හැඟීම තමයි මට ඒ බය ඇති කළේ.

නමුත් මාත් එක්ක වැඩ කළ ප්‍රවීණ ශිල්පීන් නිහතමානීව මට හැමදේම කියලා දුන්නා.

ඊට පස්සේ තවදුරටත් රංගනය ගැන හදාරමින් ක්ෂේත්‍රයේ ඉදිරියට ආවා.

ඔබ මියුසික් වීඩියෝ රැසකට සම්බන්ධ වෙලා තිබෙනවා නේද?

ඔව්. මම කලා ක්ෂේත්‍රයට එන්නෙම මියුසික් වීඩියෝවලින්. ඒ කාලයේ මට බොහෝ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

ඕනෙම කෙනෙක් අලුතින් ක්ෂේත්‍රයට එද්දි හැමෝම කැමතියි ඔහු හෝ ඇය සමඟ වැඩ කරන්න.

මොකද ප්‍රේක්ෂකයො අලුත් මුහුණුවලට කැමැති නිසා. අද එදා තරම්ම අවස්ථා ලැබෙන්නෙ නැහැ.

මියුසික් වීඩියෝ තුළ ඔබට වැඩි ප්‍රේක්ෂක ජනප්‍රියත්වයක් හිමි වූ නිර්මාණය කුමක්ද?

මම කරපු ගොඩක් මියුසික් වීඩියෝ ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ අතරින් අනුෂ්ක උදානගේ “මැරුණු හිතේ ගීතය” වැඩිපුරම ප්‍රේක්ෂකයන් අතරට ගියා. ගොඩක් ප්‍රතිචාර ලැබුණා.

‘මල් පිපෙන කාලේ’ ගොඩක්ම ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යයක්. ඒ ගැන කතා කරනවා නම්?

‘මල් පිපෙන කාලේ’ ටෙලි නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. අදටත් මගේ චරිතය ප්‍රේක්ෂකයන්ගේ මතකයේ තියෙනවා.

තවමත් බන්ටිගේ අක්කා නේද කියලා අහන ප්‍රේක්ෂකයන් හමුවෙනවා. එහෙම අහනකොට මට නිහතමානි සතුටක් ආඩම්බරයක් දැනෙනවා.

නවක රංගන ශිල්පිනියක් ලෙස, කලා ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කෙසේද?

ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ඉතාම ලොකු සහයෝගයක් ලැබෙනවා.

ක්ෂේත්‍රය තුළ අපිට වඩා ඔවුන්ට ලොකු අත්දැකීම් තියෙනවා. ඉතින් අපිට මඟහැරෙන සහ අපි නොදන්නා දේවල් ඔවුන් කියලා දෙනවා. ඉතින් ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙනුත් මේ කරන නිර්මාණවලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන්ගේ ඒ සහයෝගයත්, ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ලොකු අත්වැලක් විදිහට මම දකිනවා.

ක්ෂේත්‍රය තුළ අභියෝගයක් යැයි හැඟුණු අවස්ථා තියෙනවද?

මම මේ ක්ෂේත්‍රය තුළදී කවුරුත්ම අභියෝගයක් කර ගත්තේ නැහැ.

හැමවෙලේම මට මාවම අභියෝගයක් කර ගත්තා. ක්ෂේත්‍රය තුළ ඉන්න අය එකිනෙකාට වෙනස්. එකිනෙකාගේ හැකියාවන් වෙනස්. එතකොට මාව අභියෝගයක් කරගෙන ඉස්සරහට යනකොට තවත් කෙනෙක් හා සමාන වෙන්න වුවමනාවක් නැහැ.

වැඩිම ජනප්‍රියත්වයක් හිමි වූ ටෙලිනාට්‍ය චරිතය ගැන කතා කරනවා නම්?

මම මේ වෙනකොට ටෙලිනාට්‍ය දහයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය වුණේ ‘වස්සානයේ ප්‍රේමය’ ටෙලිනාට්‍යයේ ශනුල්‍යාගේ චරිතය.

ඒ වගේම මල් පිපෙන කාලේ බන්ටිගේ අක්කා, රාවණාහි මීනාක්ෂි වගේම නිකිණි කුසුම්හි ක්‍රිෂ්ගේ චරිතය. මේ චරිත සියල්ලටම ගොඩක් ප්‍රතිචාර ලැබුණත් ක්‍රිස්ටිනාගේ චරිතය ඉදිරියෙන්ම තියෙනවා.

කලාවට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය කෙසේද?

ක්ෂේත්‍රයේ ආරම්භයේ සිට මේ දක්වාම මට ශක්තියක් වුණේ මගේ පවුල. අවුරුදු කිහිපයක්ම වැඩවලට සහභාගි වුණෙත් ඔවුන් සමඟමයි.

ක්ෂේත්‍රයට හුරු වෙද්දි මම තනියම වැඩ කරගන්න පුරුදු වුණා. අදටත් ඕනෙම දේකට පවුලේ අයගේ සහයෝගය ලැබෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම කැමතියි වෙනස් විදිහේ චරිත කරන්න. හොඳ නිර්මාණවලට දායක වෙමින් සම්බන්ධ වෙන නිර්මාණයට උපරිම සාධාරණයක් කරමින් ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

World News

Send your contact Details Today