Latest News

“වෘත්තියක් විදිහට රංගනයේ යෙදෙන්න අදහසක් නැහැ” – විනුමි වන්සදී

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විනුමි වන්සදී අපිට මුලින්ම මුණගැහෙන්නේ ළමා රංගන ශිල්පිනියක් විදියට. ඒ 2014 තිරගත වූ ‘හෝ ගානා පොකුණ‘ සහ 2017 දී තිරගත වූ ‘ධර්මයුද්ධය‘ චිත්‍රපටයෙන්. දැන් ධර්මයුද්ධය 2 තිරගත වෙද්දී ආයෙමත් අපිට විනුමි වන්සදී එහි සචිනි ලෙසින් මුණගැහෙනවා. ඒ නිසාම මේ කතා බහ විනුමි වන්සදී සමඟින්.

‘ධර්මයුද්ධය’ එක්ක මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ?

ධර්මයුද්ධය කියන්නේ මගේ දෙවන සිනමා නිර්මාණය. මගේ පළමුවැනි චිත්‍රපටය තමයි හෝ ගානා පොකුණ. හෝ ගානා පොකුණට රංගනයෙන් දායක වෙද්දී මම හිටියේ 5 වසරේ. ධර්මයුද්ධය කියන්නේ මගේ රංගන ජීවිතේ කඩඉමක්. මට ගොඩක් අත්දැකීම් ලැබුණා. ජැක්සන් මාමා සහ දිල්හානි නැන්දා වගේ ප්‍රවීණ රංගධරයන් එක්ක ධර්මයුද්ධය පළමු කොටස කරද්දී වැඩ කරන්න ලැබුණේ. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටු වුණා. ධර්මයුද්ධය -1 කරද්දී මම පාසලේ 9 වසරේ හිටියේ. ඒ එක්කම චිත්‍රපටය තිරගත වෙද්දී මම සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලේ නිසා මම පොඩ්ඩක් කලා නිර්මාණ කටයුතුවලින් ඈත් වෙලා හිටියේ. නතර කරපු තැනින්ම ආයෙම මම රංගනය පටන් ගත්තා ධර්ම යුද්ධය – 2 හැටියට. ධර්මයුද්ධය – 2 ට එද්දී ජැක්සන් මාමා වෙනුවට බිමල් මාමා ආවේ. එදා ජැක්සන් මාමාගෙන් ලැබුණු සහයෝගයම මට මේ සැරේ බිමල් මාමාගෙන් ලැබුණා. ධර්මයුද්ධය – 2 රූපගත කරද්දී මම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක්. මම උපාධිය ලබන්නේ Apply biotechnology අංශයෙන්. ඒක විද්‍යා උපාධියක්.

හෝ ගානා පොකුණේ චරිතය ගැන සඳහන් කළොත්…?

මම ප්‍රධාන චරිතයක් නෙවෙයි කළේ. ළමයි 18 දෙනාගෙන් එක් කෙනෙක් විදියට තමයි රංගනයෙන් දායක වුණේ.

සිනමාව හැරුණම ටෙලි නිර්මාණ කරලම නැද්ද?

නැහැ. මම මේ වෙනකම් නම් කිසිම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. හෝ ගානා පොකුණ සහ ධර්මයුද්ධය හැරුණම මම සිරස නාළිකාවේ අවුරුදු 10ක් විතර ‘කිඩ්ස් ෆස්ට්‘ හි ප්‍රධාන නිවේදිකාව විදියට හිටියා. සිරසට මුලින්ම සම්බන්ධ වුණේ 1 වසරේ දී.

නිරන්තරයෙන් රංගනය කරන්න ඕනේ කියන තැන විනුමි නැද්ද?

මම රංගනයට ගොඩක් කැමැති කෙනෙක්. ඒත් වෘත්තියක් විදිහට රංගනයේ යෙදෙන්න අදහසක් නැහැ. මට නිර්මාණයකට ඇරයුම් ලැබුණාම ඒ චරිතය තුළින් මට යමක් කරන්න පුළුවන් නම් සහ ඒ කතාව ගොඩක් හොඳයි නම් එහෙම නිර්මාණ මම භාර ගන්න ආසාවෙන් ඉන්නවා. ඊට අමතරව මගේ වෘත්තීය විදියට මම අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිහින් රැකියාවක් කරන්නයි කැමැති.

පවුලේ කවුද ඉන්නේ?

අම්මා අප්පච්චි සහ මල්ලි

කොහොමද එයාලගෙන් ලැබෙන සහයෝගය?

අද මම තැනක ඉන්නවා නම් සහ මට යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ එයාලා තුන්දෙනා නිසා. පුංචි කාලේ ඉඳන්ම මා එක්කම හිටියා. ධර්මයුද්ධය – 2 රූගත කිරීම් වැටුණේ මගේ පළමු වසරේ විභාග දිනවල. ඒ නිසා ගොඩක් අමාරු වුණා ඒ දවස් ටික ගෙවා ගන්න. ෂූටින් දවස් දෙකක් තියෙනවා. ආයේ ඊට පස්සේ දවසේ මට විභාගයක් තිබුණා. ඒ දවස් ටික මට හරිම පීඩනයක් තිබුණෙ. මොකක් ද මම කරන්නේ කියලාවත් හිතා ගන්න බැරිව හිටියේ. අම්මා සහ අප්පච්චි මට නිතරම කිව්වේ කොහොම හරි කරමු, දෙකම කර ගත්තොත් තමයි දිනුම් කියන මතයේ ඒ අය හිටියේ. ඒ එක්කම මගේ විශ්වවිද්‍යාලයේ යාළුවො සහ නෑදැයෝ මා එක්ක හිටියා. අද මේ හැමදේම එයාලා නිසයි.

ධර්ම යුද්ධය පළමු කොටස තිරගත වුණු කාලේ මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?

ධර්ම යුද්ධය පළමු කොටසේදී ‘පොඩ්ඩි‘ කියන නමින් තමයි හැමෝම වගේ මාව දන්නේ. ඒ කාලේ ලැබුණු ප්‍රතිචාර නම් ගොඩයි. ‘අයියෝ ඇයි එහෙම කිව්වේ ‘කියලා අහපු අය ගොඩක් හිටියා. මම ඒ දවස්වල ප්‍රමෝෂන් වැඩවලට ෆිල්ම් හෝල් එකට ගියාම, මමත් පිටිපස්සේ ඉඳන් බලන් හිටිය අවස්ථා තිබුණා. ඒ තැන්වලදී චිත්‍රපටයේ “මම කියන්නම්” කියන දෙබස යද්දී සිනමාශාලාවේ ඉන්න හැමෝම ‘අයියෝ…‘ කියලා කියනවා මට ඇහුණා. මට ඒ දේවල් තාම මතකයි.

මේ වෙද්දී තව නිර්මාණ භාරගෙන තියෙනවද?

දැනට නැහැ. මගේ අධ්‍යාපන කටයුතු එක්ක මට සාධාරණයක් කරන්නට හැකි නිර්මාණයකින් ඇරයුම් ලැබුණොත් මම රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දැන් ධර්ම යුද්ධය 2 භාර වෙන්නේ අපේ සිනමා රසිකත්වයටනේ, මොන වගේ ඇරයුමක්ද විනුමි කරන්නේ?

ධර්ම යුද්ධය පළමු කොටස ඇවිත් අවුරුදු ගණනාවකට පස්සේ තමයි දෙවැනි කොටස එන්නේ. හැබැයි අදටත් ධර්ම යුද්ධය පළමු කොටස ගැන ප්‍රේක්ෂකයන් කතා කරනවා. එහෙම නිර්මාණ බිහිවෙනවා හරිම අඩුයි. පවුල කියන සංකල්පය එක්ක හැම දෙයක්ම අඩුවක් නෑර මේ චිත්‍රපටයේ තියෙනවා. ඒ නිසා මම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා ධර්ම යුද්ධය පළමු කොටස ආදරෙන් වැලඳ ගත්තා වගේම ධර්ම යුද්ධය 2 ත් බලන්න එන්න කියලා.

World News

Send your contact Details Today