Latest News

“තරු ආදරේ රූගත කෙරෙන අතරේම තවත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණා” – මහේෂි තක්ෂිලා

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහේෂි තක්ෂිලා මේ දිනවල අපට හමුවන්නේ ධනුෂ්ක රත්නායකගේ තරු ආදරේ ටෙලි නිර්මාණයේ ජූලිගේ භූමිකාවෙනි. බයෝ, මන්දාරම් කතාවේ, මේන් කැරැක්ටර්, මාස්ටර් සර් වැනි ජනප්‍රිය ටෙලි නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය ජූලි නිසා මේ දිනවල තව තවත් ආදරය ලබන්නීය. ජූලි ගැන මේ ඇගේ කියවීමයි.

මේ දිනවල ඔබ ගොඩක්ම ආදරේ ලබන්නේ ජූලි නිසා. කොහොමද ඒ අත්දැකීම?

ඔව්. මේ දවස්වල ධනුෂ්ක රත්නායක සර්ගේ ‘තරු ආදරේ’ ටෙලි නිර්මාණයේ ජූලිගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. ජූලිට ගොඩක් ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා.

කොහොමද ජූලිට ආරාධනා ලැබෙන්නේ?

ධනුෂ්ක රත්නායක සර් තමයි මූලින්ම ආරාධනා කරන්නේ. ඔහු මගේ රංගන පාසලේ ගුරුවරයා. තරු ආදරේ අධ්‍යක්ෂණය සර්ගේ. තිරපිටපත බුද්ධිනී ජයවර්ධන අක්කගේ. ඇය ජූලි කියන කැරැක්ටර් එකට කෙනෙක් හොයද්දී සර් මං ගැන කියල තිබුණා. මාව කතාවට සම්බන්ධ කරගන්නේ ඇය. හරි රහට මේ කැරැක්ටර් එක ලියන්නෙත් ඇයමයි. බුද්ධිනී අක්ක එක්ක මං වැඩකරන පළමුවැනි අවස්ථාව. නිෂ්පාදක ධනුෂ්ක ප්‍රනාන්දු වගේම සහාය අධ්‍යක්ෂවරයාත් මේ වෙලාවේ සිහිපත් කරනවා.

ජූලි කියන්නේ ඔබට ලැබුණු වෙනස් චරිතයක්. අභියෝගයක් වුණේ නැද්ද?

ජූලි මට අභියෝගයක් වුණේ ඇයගේ චරිත ලක්ෂණත් එක්ක. ජූලි කියන්නේ හොඳට කට ඇරලා හයියෙන් කෑගහල කතා කරන චරිතයක්. කතා කරද්දි වුණත් සාමාන්‍ය ගැහැනු ළමයෙකුගේ වගේ සංවරකම නැහැ. මම සාමාන්‍යයෙන් හරිම හෙමින් කතා කරන කෙනෙක්. මගේ කටහඬ පිටට එනවා මදි නිසා කටහඬ හදාගන්න පුහුණුවීම් කරන්න වුණා. ජූලි මට අභියෝගයක් වුණේ එතනදි. මේ වෙද්දි නම් ජූලි වත්තෙන් නගරයට ඇවිත් ටිකක් වෙනස්වෙලා වත්තක ඉන්න බව හංගගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. ලස්සනට ඇඳලා මේක්අප් දාල වෙනස් චරිතයක් වෙලා. එකම චරිතයේ වුණත් පැතිකඩ දෙකක් පෙන්වන්න ලැබීම මට ලොකු අවස්ථාවක්.

ජූලි වගේ චරිත අද සමාජයේත් ඕනෙ තරම් ඉන්නවා. මේ චරිතය ඔවුන්ට වඩාත් හොඳින් දැනෙනවා ඇති?

ඇත්තටම ඔව්. වත්තක ජීවත් වෙන ගැහැනු ළමයෙක් මොන වගේ පීඩනයකින් ද ඉන්නේ කියන එක මේ හරහා පිළිබිඹු වෙනවා. ඇයත් කැමැතියි සාමාන්‍ය සමාජයත් එක්ක ගැටෙන්න. එක අවස්ථාවක ජූලි රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්න යනවා. ඒ යද්දි වත්තෙන් ඈත තියෙන බස් හෝල්ට් එකකින් තමයි බස් එකට නඟින්නේ. ඇය උත්සාහ කරන්නේ වත්තක ජීවත් වන බව සමාජයෙන් සඟවගන්න. නාගරික සමාජයට ඇවිත් ඒ විදිහට අනුගත වෙන්න උත්සාහ කරනවා. ප්‍රතිචාර අතරේ ඒ වගේ චරිත ඕනතරම් තියෙනවා. මටත් මෙහෙම වුණා කියලා කමෙන්ට්ස් දාල තිබුණා.

ජූලිගේ චරිතය ගැන හැදෑරීමක් කළාද?

මේ වගේ චරිතයක් මං කලින් කරල තිබුණෙ නැහැ. භාෂාවේ වුණත් වෙනස්කම් තිබුණා. ඒ හැමදේම ගාණට ගළපගෙන ජූලිට සාධාරණයක් කරන්න උත්සාහ කළා. වතුවල ජීවත්වන අය කොහොමද කතා කරන්නේ, කොහොමද හැසිරෙන්නෙ කියන එක ගැන මං අධ්‍යයනය කළා. ඒ හා සම්බන්ධ නිර්මාණ බැලුවා.

ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය ගැනත් මතක් කරමු?

ඒ ගැන නම් මතක් කරන්නම ඕන. මගේ චරිතය ගැටෙන්නේ ඉෂාන් මෙන්ඩින්, කුසුම් පෙරේරා සහ චතූ රාජපක්ෂ එක්ක. විශේෂයෙන්ම කුසුම් අක්කව මතක් කරන්න ඕන. එයා මං ආදරේ කරන කෙනාගේ අම්මාගේ චරිතය කරන්නේ. හැමදේම කියා දෙමින් ඇය මට ලොකු සහායක් දෙනවා. ඒ වගේම චතූ අක්කත් මට ලොකු සහායක් දෙනවා.

ජූලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ජූලි කියන චරිතය ගොඩක් දුරට ගලාගෙන යන්නේ මනූගෙ ආදරයත් එක්ක. ඒ ආදරයටත් ප්‍රතිචාර ලැබෙනවා. අපේ ආදර කතාවත් එක්ක තවත් ආදර කතා කිහිපයක්ම ගලාගෙන යනවා. වත්තක ආදර කතාවක තියෙන සුන්දරත්වය ගැන කියලත් ප්‍රතිචාර ලැබෙනවා. ජූලි වගේම වත්තක හැදිලා වත්තෙන් එළියට ගිහින් සමාජගත වුණු අය තමන් පත්වෙලා හිටිය පීඩනය ගැන කියල තියෙනවා. ඒ වගේ දැනට විදෙස්ගත වෙලා ඉන්න කිහිප දෙනෙක්ම ඒ ගැන කියලා තිබුණා. වත්තෙ සුන්දරත්ව වගේම ඉන්ටවිව්වලට ගියහම පත්වුණු අසීරුතාව ගැනත් කියල තිබුණා. එක තැනක ජූලි මනූටයි යාළුවටයි විහිළුවට ඉදලෙන් ගහන්න හදනවා. ඒකට නම් බැණලා දාල තිබුණා විහිළුවටවත් පිරිමින්ට ඉදලෙන් ගහන්න හොඳ නෑ කියලා.

ක්ෂේත්‍රයට ආපු විදිහත් මතක් කරමු?

මම ධනුෂ්ක රත්නායක සර්ගේ රංගන පාසලෙන් රංගනය ගැන ඉගෙන ගන්නවා. මුලින්ම කැමරාවට මුහුණු දෙන්නේ සර්ගේ බයෝ කියන ටෙලි නිර්මාණයේ එකම එක දෙබසක් තියෙන පුංචි චරිතයකින්. ඒ විදිහට හෙමින් හෙමින් ආපු ගමනක් මේක. පසුව මන්දාරම් කතාව, මේන් කැරැක්ටර්, මාස්ටර් සර් වගේ ජනප්‍රිය ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ දවස්වල තරු ආදරෙත් එක්ක ඉන්නවා.

ඉදිරියේදී මහේෂිව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

තරු ආදරේ රූගත කෙරෙන අතරේම මට තවත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණා. ඒකෙත් රූගත කිරීම් කරගෙන යනවා. ඉදිරියේදී විකාශයට නියමිතයි. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ධනුෂ්ක ප්‍රනාන්දු. මට ඒ අවස්ථාව ලබාදුන් තරු ආදරේ නිෂ්පාදන කළමනාකරු සහන් වර්ණකුලසූරිය අයියාට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නෙතුමි අක්කා, ධනුෂ්ක සර් ඇතුළු කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. තව අලුතින් කරපු මියුසික් වීඩියෝ එකකුත් එන්න තියෙනවා.

World News

Send your contact Details Today