හිටපු චීන ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලී ටයි ඇතුළු පුද්ගලයන් 73කට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට චීන පාපන්දු සංගමය පියවර ගෙන ඇත.
ඒ තරග පාවාදීම් සහ දූෂණ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේයි.
මේ දඬුවමට ඉහළ පෙළේ වෘත්තීය ක්‍රීඩා සමාජ 13ක ක්‍රීඩකයන් හා නිලධාරීන් ඇතුළත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
ඒ අනුව හිටපු ක්‍රීඩක ලී ටයි 2019 සිට 2021 දක්වා චීන ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත ඔහුට වසර 20ක සිරදඬුවමක් නියම වී ඇත.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යටතේ, මෑත වසරවලදී චීන පාපන්දු ක්‍රීඩාවේ දැවැන්ත දූෂණ විරෝධී ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, එමඟින් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ දූෂණ රැසක් හෙළිදරව් වී තිබේ. චීන පාපන්දු සංගමයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු සේවයෙන් පහ කර ඇති අතර, තරග පාවාදීම් සහ සූදු ව්‍යාපාරයට සම්බන්ධ වීම හේතුවෙන් ක්‍රීඩකයන් දුසිම් ගණනක් තහනම් කර ඇත.
චීනයේ බොහෝ වෘත්තීය පාපන්දු සමාජ මූල්‍යමය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.
චීන සුපර් ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක සමාජය වන ගුවැන්ෂු එෆ්සී, නව තරගවාරය ආරම්භ වීමට පෙර ණය ගෙවීමට අපොහොසත් වීමෙන් පසුගිය වසරේ වසා දැමිණි.