ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් හය දෙනෙකු විසින් කතෝලික පූජකවරයෙකුට මෑතකදී පහරදීම හෙළා දකිමින් පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් අද මීගමුව මහ නගර සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
විරෝධතාවයේ නිරත පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් පහරදීම හෙළා දකින පුවරු අතැතිව සිටිනු දක්නට ලැබුණි.
මේ අතර, සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් හය දෙනා සේවයෙන් අත්හිටුවා ඇති බව වාර්තා වේ.
කොටදෙණියාවේ පල්ලිය විසින් පාලනය කරනු ලබන ගොවිපලක සහකාර වතු කළමනාකරුවෙකු ලෙස සේවය කරන පූජකවරයා, දිප්පිටිගොඩ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී පහරදීමකට ලක්ව ඇත. ඔහු ඒ වන විට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතර සම්පූර්ණ පූජක ඇඳුමින් සැරසී සිටි බව වාර්තා වේ.
සැකකරුවන් පූජකවරයාට පහර දී පාර අයිනේ දමා ගිය බව කියනු ලබන අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කල බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිත ජනවාරි 29 වන දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.