දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල් හට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (16) තීන්දු කර තිබේ.
ඒ 2024 වසරේදී ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අසාර්ථක යුද නීති ප්‍රකාශනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට අදාළවයි.
බලය අනිසි ලෙස භාවිතා කිරීම, යුක්තිය ඉටු කිරීමට බාධා කිරීම සහ රජයේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු බව සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය තීරණය කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවතින නඩු මාලාවකින් ප්‍රකාශයට පත් වූ පළමු තීන්දුව මෙයයි.
තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා සඳහන් කළේ, “විත්තිකරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටියද, ඔහු එයට පිටුපා රට දේශපාලන අර්බුදයකට ඇද දැමූ” බවයි.
එසේම යූන් සුක් යෝල් මෙතෙක් කිසිදු පසුතැවිල්ලක් ප්‍රකාශ කර නොමැති බවද අධිකරණය නිරීක්ෂණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති බරපතලම චෝදනාව වන්නේ “රාජ්‍ය විරෝධී කැරලි ගැසීම” (Insurrection) පිළිබඳ චෝදනාවයි.
එම නඩුවට අදාළව රජයේ අභිචෝදකයින් ඔහුට මරණ දඬුවම ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර, එහි තීන්දුව පෙබරවාරි මාසයේදී ලබා දීමට නියමිතයි.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට යූන්ගේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාවල නිරත වූ අතර, ඔවුන් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ.
යූන් සුක් යෝල් 2024 දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීමට උත්සාහ කිරීමෙන් පසු එරට පාර්ලිමේන්තුව විසින් ඔහු දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කරන ලද අතර, 2025 අප්‍රේල් මාසයේදී පැවැත්වූ මැතිවරණයෙන් ලී ජේ මියුන් (Lee Jae Myung) නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.