අභ්‍යවකාශ ගමන්වලින් පසුව ගගනගාමීන්ගේ මොළයේ හැඩය සහ පිහිටීම කාලයත් සමඟ වෙනස් වන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
මෙම අධ්‍යයනයට අනුව, අභ්‍යවකාශ සංචාරයකින් පසු මොළය හිස්කබල තුළ ඉහළට සහ පසුපසට විතැන් වන බව සඳහන්.
එහිදී මොළයේ සංවේදක සහ චලන කලාපවල විශාලතම වෙනස්කම් දක්නට ලැබෙන බවයි අධ්‍යයනය උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ.
සඳුදා ‘Proceedings of the National Academy of Sciences’ සඟරාවේ පළ වූ මෙම පර්යේෂණය වාර්තා කරන්නේ, මොළයේ ඉහළ සහ පහළ කොටස් අතර විවිධ වූ පැතිකඩවලින් විකෘති වීම් සිදුවන බවයි.
මෙම පර්යේෂණය සඳහා පර්යේෂකයන් විසින් අභ්‍යවකාශයට යාමට පෙර සහ පසු ගගනගාමීන් 26 දෙනෙකුගේ MRI ස්කෑන් පරීක්ෂණ නිරීක්ෂණය කර තිබුණි.
පසුව එම ප්‍රතිඵල, පෘථිවියේ සිටින සිවිල් වැසියන් 24 දෙනෙකුගේ ස්කෑන් පරීක්ෂණ සමඟ සංසන්දනය කෙරිණ.
මෙම සිවිල් වැසියන් පර්යේෂණයක් සඳහා දීර්ඝ කාලයක් හිස පහත් කර ඇඳක් මත වැතිර සිටීමේ තත්ත්වයකට පත් කර තිබේ.
විද්‍යාඥයන් සොයාගත්තේ මෙම සිවිල් වැසියන්ගේ ද මොළයේ හැඩයේ සහ පිහිටීමේ යම් වෙනස්කම් සිදු වුවද, ගගනගාමීන්ගේ මොළයේ ඉහළට විතැන් වීම වඩාත් වැඩි මට්ටමක පවතින බවයි.
අභ්‍යවකාශ ගමන අවසන් වී මාස හයකට පසු මෙම මොළයේ විකෘති වීම් බොහොමයක් යථා තත්ත්වයට පත් වුවද, සමහර වෙනස්කම් දිගටම පවතින බව අධ්‍යයනය පෙන්වා දෙයි.
ආරක්ෂිත අභ්‍යවකාශ ගවේෂණයක් සඳහා මෙම වෙනස්කම් මගින් මිනිස් ක්‍රියාකාරීත්වයට සහ සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ.
ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රේචල් සෙයිඩ්ලර් පවසන්නේ, ගගනගාමීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය තහවුරු කිරීමට මෙම වෙනස්කම් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.
අභ්‍යවකාශයේ ගත කරන කාලය වැඩි වන තරමට මොළයේ සිදුවන වෙනස්කම් ද වැඩි වන බව පෙනී ගොස් තිබේ.
ඒ අනුව, වසරක් අභ්‍යවකාශයේ සිටි අයගේ වැඩිම වෙනස්කම් දක්නට ලැබුණු අතර, සති දෙකක් වැනි කෙටි කාලයක් සිටි අය තුළ ද යම් යම් වෙනස්කම් දැකගත හැකි වී තිබුණි.
මෙලෙස කාලය යනු මෙම වෙනස්කම් සඳහා බලපාන ප්‍රධාන සාධකය බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.