ඉරානයේ සති දෙකක් පුරා පැතිර ගිය දැඩි නොසන්සුන්කාරී තත්ත්වය මර්දනය කිරීමේදී, ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඇතුළුව පුද්ගලයන් 2,000ක් පමණ මිය ගොස් ඇති බව එරට නිලධාරියෙකු අද හෙළිකර තිබේ.
රජයේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ සිදුවූ මෙතරම් ඉහළ මරණ සංඛ්‍යාවක් පිළිබඳව ඉරාන බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.
රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් එම ඉරාන නිලධාරියා සඳහන් කළේ, විරෝධතාකරුවන්ගේ මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද මරණවලට ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන පිරිසක් වගකිව යුතු බවයි.
කෙසේ වෙතත්, මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත ලෙස හඳුනාගෙන නොමැත.
පවතින අසීරු ආර්ථික තත්ත්වය හේතුවෙන් හටගත් මෙම විරෝධතා, අවම වශයෙන් පසුගිය වසර තුනක කාලය තුළ ඉරාන බලධාරීන් මුහුණ දුන් විශාලතම අභ්‍යන්තර අභියෝගයයි.
මෙම තත්ත්වය උදාවී ඇත්තේ පසුගිය වසරේ ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ජාත්‍යන්තර පීඩනය තීව්‍ර වී ඇති මොහොතකයි.
1979 ඉස්ලාමීය විප්ලවයේ සිට බලයේ සිටින ඉරානයේ ආගමික බලධාරීන් මෙම විරෝධතා සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කරයි.
ඔවුන් ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් කෙරෙන විරෝධතා සාධාරණ බව පවසන අතරම, ආරක්ෂක අංශ යොදවා දැඩි මර්දනයක් ද ක්‍රියාත්මක කරන බව සඳහන්.
එමෙන්ම මෙම නොසන්සුන්තාවය උසිගැන්වීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය සම්බන්ධ බවට ඔවුන් චෝදනා කරන අතර, නම් නොකළ ත්‍රස්තවාදීන් විසින් විරෝධතා අත්පත් කරගෙන ඇති බව පවසයි.
මීට පෙර මානව හිමිකම් කණ්ඩායමක් විසින් මියගිය පුද්ගලයන් සිය ගණනක් හඳුනාගෙන තිබූ අතර, දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබුණි.
පසුගිය දිනවල පනවන ලද අන්තර්ජාල විසන්ධිකිරීම් ඇතුළු සන්නිවේදන සීමාවන් හේතුවෙන් තොරතුරු ගලා ඒමට බාධා එල්ල විය.
කෙසේ වෙතත්, පසුගිය සතියේ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ රාත්‍රී ගැටුම් දැක්වෙන වීඩියෝ දර්ශන මගින් වෙඩි තැබීම්, ගිනි තබන ලද මෝටර් රථ සහ ගොඩනැගිලි සහිත ප්‍රචණ්ඩකාරී ගැටුම් පිළිබඳ අනාවරණය වී තිබේ.