සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය, ජය පරාජයෙන් තොරව අවසන්කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් විය.
ඒ, දෙරට අතර දඹුල්ලේ දී පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 14 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟයි.
තරගය ආරම්භ කිරීමට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ, තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කරන්නට විනිසුරුවන් කටයුතු කළේය.
ඒ, අනුව කාසිය වාසිය දිනූ පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ 12 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 160ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය.
එහිදී වේගවත් ඉනිමක් දියත් කළ නායක දසුන් ශානක පන්දු 09ක් තුළ ලකුණු 34ක් රැස්කළේ දැවැන්ත හයේ පහර පහක් එල්ල කරමින්.
ඊට අමතරව ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 08ක් තුළ ලකුණු 20 රැස්කළ අතර, ජනිත් ලියනගේ පන්දු 08කට මුහුණදෙමින් නොදැවී ලකුණු 22ක් රැස් කළේය.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිත්කරුවන් කලකට පසු ලකුණු අතරට පැමිණීම කැපී පෙනුණි.
පන්දු යැවීමේ දී මොහොමඩ් වසීම් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවේ පන්දුවාර තුනක් තුළ ලකුණු 54ක් ලබාදෙමින්.
අනතුරුව ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානයට නියමිත පන්දුවාර 12 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායක සල්මන් ආගා පන්දු 12ක් තුළ ලකුණු 45ක් රැස්කළ අතර, මොහොමඩ් නවාස් ලකුණු 28ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග පාකිස්ථාන ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවේ ලකුණු 35ක් පමණක් ලබාදෙමින්.
මෙහිදී ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 150 සීමාවට පැමිණීමට ද වනිඳු හසරංගට හැකියාව ලැබුණි.
ඊට අමතරව ඊයේ තරගය සඳහා කැඳවූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලකුණු 34 කට කඩුලු 02ක් බිඳ දැමීය.
ඒ, අනුව දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගය ලකුණු 14කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියට ජය පරාජයෙන් තොරව අවසන් විය.