ජයනි වීරසිංහ බොහෝ විට අපට හමුවන්නේ සිනමා තිරයෙනි. අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයේ යමුනා ටීචර් ප්‍රේක්ෂක ඔබට අමතක නොවන භූමිකාවකි. නිල් සුරංගනාවී ලෙසින් පළමු රංගනයෙන්ම ඉතාම ජනප්‍රිය වූ ඇය ළංවී ටෙලි නිර්මාණයේ ඩයනා ලෙසින් අමතක නොවන භූමිකාවක නිරත වූවාය. ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකින්ම ඔබ හමුවට එන්නට බලාපොරොත්තුවෙන් සිටින ඇය අද අප හා කතාබහට එක්වූවාය.
ජයනි මේ දිනවල ගොඩක් කාර්යබහුලයි නේද?
මේ දවස්වල මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අලුත්ම සිනමා නිර්මාණයේ රූගත කිරිම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු තිළිණ බොරලැස්සගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘මං හොයන්නෙ ප්‍රේමයක්‘වගේම සමීර නාඔටුන්නගේ වයිෆ් චිත්‍රපටයත් නුදුරේදීම තිරගත වීමට නියමිතයි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි කිවුවත් හරි. පුංචි තිරයේ නම් මේ දවස්වල දකින්න නැති තරම්.
අපේ ප්‍රින්සිපල් චිත්‍රපටියේ යමුනා ටීචර් කියන්නේ ඔබට සමීප භූමිකාවක් නේද?
ඇත්තටම ළමයි අදටත් මට යමුනා ටීචර් කියලා කතා කරනවා. අපේ ප්‍රින්සිපල් චිත්‍රපටය දින 100ටත් වඩා තිරගත වුණා. සැබෑ ජීවිතේ මාත් ගුරුවරියක් නිසා මට ඒ නිර්මාණය ගොඩක් විශේෂයි.
ඔබට නිල් සුරංගනාවි කියල කියන්න හේතුව මොකක්ද?
මුලින්ම මම රගපෑවෙ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ මුතු පිහාටු ළමා ටෙලි නාට්‍යයේ සුරංගනාවියකගේ චරිතයක්. ඒ කාලෙදිම මම මුල්ම පත්වීම ලබලා ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ සේවයට ගියා. ළමයි මට නිල් සුරංගනාවි කියල කතා කරන්න පටන් ගත්තා. මම ඉගැන්නුවේ හය, එකොළහ ශ්‍රේණිවලට. ඒත් පුංචි පන්තිවල ළමයි ඉන්ටවල් එකට එනවා නිල් සුරංගනාවි බලන්න. සමහර පුංචි ළමයි පාසල ඇරිලත් අම්මලත් එක්ක ගෙදර යන්නෙ නැතුව නිල් සුරංගනාවි බලන්න එකයි තිහ වෙනකම් ගේට්ටුව ළඟ හිටියා. ඒක හරිම ලස්සන ආදරණීය කාලයක්.
ඔබ කලාවට පිවිසීම ගැන සිහිපත් කරනවා නම්?
මුතු පිහාටු තමයි මගේ පළමු අත්දැකීම. නිල් සුරංගනාවි විදිහට ගොඩක් ප්‍රේක්ෂකයින් අතරට ගියා, විශේෂයෙන් පුංචි ළමයි. සුරංගනා ලෝකෙ ආච්චිට හිටියෙ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය. ඇගෙන් ලබපු ගුරුහරුකම් මගේ ගමනට ලොකු පන්නරයක් වුණා. ඊට පස්සේ රුවන් මාලිගා, අහිමි, ළංවී වගේ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. තිමිර උඩලමත්තගේ තිර රචනයෙන් විකාශය වුණු ළංවී ටෙලි නාට්‍යයේ ඩයනා කියන චරිතය පාතාල නායකයෙක්ගේ පෞද්ගලික ලේකම්වරියක්. පාතාල නායකයා විදිහට හිටිය ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ රංගනයේ නිරත වුණු කාලය මට දැනුණේ රංගන පාඨමාලාවක් හැදෑරුව වගේ.
ඔබට දමිළ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?
ඔව්. ඉරානි කියන දමිළ චිත්‍රපටයේ. ඒකත් මට අභියෝගයක් වගේම ලොකු අත්දැකීමක් වුණා. එහි මාත් එක්ක ඉන්දිය නළු රාජ් කුමාර් රඟපෑවා. ඉරානි ඉන්දියාවේ වගේම ලංකාවේත් තිරගත වුණා. එහි සිංහල චිත්‍රපටිය ළඟදීම ලංකාවෙ තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල්, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්න තරම් මම වාසනාවන්ත වුණා.
රංගන ජීවිතේ අමතක නොවන අත්දැකීම් ඇති?
ඉරානි චිත්‍රපටිය රූගත කිරීම් තිබුණෙ නුවර කිරිමැටිය කියන හරිම ලස්සන පැත්තක. මම වැඩිපුරම ෂූටින් යන්නෙ මගේ වාහනේ. එදත් සුපුරුදු විදිහට මායි මාත් එක්ක ෂූටින්වලට යන ඇන්ටි කෙනෙකුයි නුවර යන්න පිටත් වුණා. යක්කල හරියෙදි වගේ මගේ වාහනේ නතර වුණා. ස්ටාර්ට් වෙන්නෙම නෑ. පහුවදා පාන්දර ප්‍රඩක්ෂන් එකෙන් නුවර යන වාහනේක තමයි අපි නුවර ගියේ. ලොකේෂන් එක කිට්ටුව හරිම ලස්සන මන්දිරයක් වගෙ තැනක අපි වාහනේ නතර කරලා අවට ලස්සන බල බලා හිටියේ මේ අපිට නවතින්න සූදානම් කරපු තැන කියලා හිතලා. පස්සේ ප්‍රඩක්ෂන් එකෙන් කතා කරලා කිවුවා තව ඉස්සරහට එන්න කියලා. එතකොට බලද්දියි දැක්කෙ ඒක පන්සලක් කියලා. පහුවදා මෙන්න පොලීසියෙන් ඇවිත් අපෙන් ප්‍රශ්න කරනවා. ඊයෙ රෑ අපි නවත්නන් හිටිය පන්සලේ පාර්ක් එකේ තියෙන කෝන්ස් වගයක් අපේ වගේම කාර් එකකින් ඇවිත් හොරකම් කරන් ගිහින්. කැමරාවේ තියෙන්නේ මේ වගේම කාර් එකක්. අපි හැමෝගෙන්ම කට උත්තර ගත්තා. එදා තමයි මං ජීවිතේට පොලීසියට කට උත්තරයක් දුන්නේ. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ඔබ සැබෑ ජීවිතයේත් වෘත්තියෙන් ගුරුවරියක්. ප්‍රේක්ෂකයින් ඒ ගැන දැනගන්නත් කැමැති ඇති?
ඔව්. මම නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරුවරියක්. ගිය වසරෙදි මගේ අධ්‍යාපනවේදී උපාධියත් අවසන් කළා. මට මුල්ම පත්වීම ලැබුණේ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට. ඊට පස්සේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ වසර දහයක සේවා කාලයෙන් පසුව මේ වෙද්දි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරියක් විදිහට සේවය කරනවා.
ගුරුවරිය නිළියක් වීම තුළ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා නැද්ද?
අනේ නෑ. මම කොතනකවත් ඔය දෙක පටලවගෙන නෑ. මම පාසලේ ගේට්ටුවෙන් ඇතුළු වෙන්නෙ ජයනි කියන ගුරුවරිය විදිහට. මම මගේ රාජකාරිය තුළ මගෙ හෘදසාක්ෂියට එකඟව උපරිමයෙන් වැඩ කරනවා. දෙනෝදාහක් දරුවන්ට මම හරි පාර පෙන්නුවොත් මගෙ දරුවො ඉබේම හරි පාරෙ යයි. මොකද ගුරු වෘත්තිය කියන්නෙ වන්දනීය වෘත්තියක්. දැක්ක තැන දරුවො අපිට වඳිනවා. මේ ළමා පරපුරට හරි පාර පෙන්නුවෙ නැතොත් අපිට පවු පිරෙනවා. රංගනය ගත්තොත් රංගනයේදී ප්‍රවීණයන් ළඟ ජයනි ටීචර් ළමයෙක් වෙනවා. හරිම නිහතමානීව මං ඔවුන්ගෙන් දැනුම ලබා ගන්නවා. රංගනයෙන් අද මං යම් තැනක ඉන්නවා නම් ඒ ප්‍රවීණයන්ගෙන් ලබපු අත්දැකීම් නිසා. මට මේ ක්ෂේත්‍ර දෙකේම කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ.