මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන රොන් සොයා ටෙලි නාට්‍යයේ ලසංගි ලෙසින් ඔබ හමුවට එන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන ලසංගි කරුණාරත්නය. මේ ඇය සමඟ කළ සොඳුරු කතාබහයි.
මුලින්ම ලසංගි ගැන කෙටියෙන්ම කිව්වොත්?
මගේ නම ලසංගි කරුණාරත්න. මම ඉගෙන ගත්තේ ශ්‍රී රාහුල විද්‍යාලයේ. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අයියා සහ නංගි.
මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්න කලා නිර්මාණ මොනවද?
හිරු නාළිකාවේ විකාශය වන රොන් සොයා ටෙලි නාට්‍යයට විතරයි මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ.
ලසංගි කියන චරිතය ගැන කතා කරනවා නම්…
රොන් සොයා නාට්‍යයේ මට ලැබුණේ පාසල් යන යුවතියකගේ චරිතයක්. ඒක මං හරිම ආසාවෙන් කරන චරිතයක්. ආයෙමත් සුදු ගවුම ඇඳන් ඉස්කෝලේ යන චරිතයක් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මගේ යාළුවෙක් හරහා තමයි මට කලාවට එන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ 2023 අවුරුද්දේ. එදා ඉඳන් දිගටම මම විවිධ නිර්මාණවලට සම්බන්ධ වුණා. මේ වෙද්දී නාට්‍යය කිහිපයකම රඟපාලා තියෙනවා.
මුල්ම නාට්‍යය මොකක්ද?
හිරු නාළිකාවේම විකාශය වූ සංසාරිණි ටෙලි නාට්‍යයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඊට පස්සේ රැල්ල වෙරළට ආදරෙයි, සංගීතේ වැනි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.
ඒ කියන්නේ මේක අහම්බෙන් කලාවට ආ ගමනක්ද?
ඇත්තෙන්ම ඔව්. අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා කලාවට යොමු වුණේ. මම හිතුවේ නැහැ මට කලා ක්ෂේත්රයට එන්න ලැබෙයි කියලා. මම ඉගෙන ගත්තේ නීතිඥවරියක් වෙන්න. මට මේ අහම්බෙන් ලැබුණු අවස්ථාව එක්ක කලාවට මම ගොඩක් ආදරේ කරනවා.
නිළියක් වෙන්න ආසාවක් තිබුණෙම නැද්ද?
පාසල් කාලයේ නම් මට නිළියක් වෙන්න ආසාවක් තිබුණේ නැහැ. මම හිතුවෙත් නැහැ මට මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා. ඒත් මට දිගටම නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ නිසා දැන් බොහොම කැමැත්තෙන් ආසාවෙන් කලාව කරගෙන යනවා.
දැන් ඉතින් දිගටම රඟපාන්නද කැමැත්ත?
ඔව්. මම දැන් දිගටම රඟපාන්න කැමතියි. ලංකාවේ කලා ක්ෂේත්රයට මට කළ හැකි උපරිමය කරන්න කැමතියි. කාලයක් මම රැකියාවක් කළා. ඒකෙනුත් අයින් වෙලා දැන් කලාව කරගෙන යනවා.
කලාවට යොමු වෙද්දී ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
කවදාවත් මට ගෙදර අයගෙන් කිසිම බලපෑමක් ආවේ නැහැ. මගේ ගැන ගෙදරට තියෙන විශ්වාසයත් එක්ක මම හරි දෙයක් කරයි කියන තැන ඔවුන් හැමදාම ඉන්නවා. ඒ නිසා මගේ වැඩකටයුතුවලට එයාලගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා.
රංගනය ගැන හැදෑරීමක් කරනවද?
එහෙම විශේෂ හැදෑරීමක් කරන්නේ නැහැ. මම ක්ෂේත්රයේ ප්‍රවීණයන්ව අධ්‍යයනය කරමින් මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න වග බලා ගන්නවා.
කලා ක්ෂේත්රයේ රැඳෙන්න පහසුයි කියලද හිතන්නේ?
ඒක මෙහෙමයි. මම විශ්වාස කරන්නේ කලාවට ආදරේ නම් කලාව වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන් නම් රැඳෙන්න පුළුවන් කියලයි.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
නිර්මාණ කිහිපයකින්ම දැකගන්න ලැබෙයි. ඒ නිර්මාණ ගැන ඉදිරියේදී විස්තර ඇතුව කියන්නම්කො.
රංගනයට අමතරව මොනවද කරන්නේ?
මේ වෙද්දී නිරූපණ කටයුතුවල නියැළෙනවා. ඒත් එක්කම කොස්මැටික්ස් සම්බන්ධව මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා.
මේ වෙද්දී මඟ තොටේදී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ මොන වගේද?
ගොඩක් අයගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම සෝෂල් මිඩියා හරහාත් ප්‍රතිචාර ලැබෙනවා. මඟ තොෙට්දීත් මාව හඳුනාගෙන ඇවිත් කතාබහ කරන අය ඉන්නවා. ඒ ලැබෙන ආදරේ සතුට මම භුක්ති විඳිනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන කමෙන්ට්වලට ප්‍රතිචාර දක්වනවද?
ඔව්. මම බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන කමෙන්ට්වලට ප්‍රතිචාර දක්වනවා. ඒ අය එයාලගේ වටිනා කාලයෙන් අපිට ප්‍රතිචාර දක්වන්නේ අපි කරන නිර්මාණ බලන නිසානේ. ඒ නිසා ඒ දේවල් දැකලා නොදැක්කා වගේ ඉන්න කෙනෙක් නෙවෙයි මම. මට පුළුවන් හැම වෙලාවකම ප්‍රතිචාර දක්වනවා.
කටකතාවලට බයද?
අනේ නැහැ. තමන් හරියට ඉන්නවා නම් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. තමන් හරියට හරි ගමනක් යනවා නම් වටේ පිටේ අයගේ කතා වලට බය වෙන්න ඕනේ නැහැ.
අනාගත බලාපොරොත්තු මොනවද?
කලාවෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම මම සිනමාවට එන්න ආසාවෙන් ඉන්නවා. ලංකාවට වැඩදායි පුද්ගලයෙක් වෙන්න කැමතියි.