පසුගිය සෙනසුරාදා මෙළොවින් සමුගත් ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී, කලාසූරී ලතා වල්පොළ මහත්මියගේ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවයි.
අභාවප්‍රාප්ත කලාසුරී ලතා වල්පොල මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසික රසිකාවියන්, කලාශිල්පීන්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් පැමිණෙමින් සිටියි.
දශක 8ක් පුරා ගීත 6,750කට වැඩි සංඛ්‍යාවකට සිය රන් ස්වරය මුසු කරමින් ඇය මෙරට ගීත කෝකිලාවිය බව තහවුරු කළාය.
1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා ගීත ගායනයට පිවිසෙන ඇය පසු කාලයේ දී සිනමාවට නැතිවම බැරි ශිල්පිනියක් බවට පත්වන්නේ චිත්‍රපට 600කට අධික ප්‍රමාණයකට පසුබිම් ගයනා ඉදිරිපත් කරමින්.
භාෂා රැසකින් ගීත ගායනා කිරීමට ද ඇය දැක්වුයේ කිසිවෙකුට සම කළ නොහැකි දක්ෂතාවක්.
නමෝ මරියනී, සිහින හතක් මැද, රොන් සොයා පියඹන සමනලියක සේ, අම්මලා දුක් ගන්නේ, රෑන ගිරා, නෙළුම් මානෙල් මඩේ පිපිලා ආදී ඇය ගායනා කළ ගීත මෙරට රසික හදවත් තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් වී තිබේ.
2005 වසරේ දී කලාශූරී සහ 2017 වසරේ දී දේශමාන්‍ය සම්මානවලින් පිදුම් ලැබු ලතා වල්පොල මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලැබුවාය.