වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්තානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines (PIA) හි සියයට 75ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර තිබේ.
පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප් (Arif Habib Group) සමූහය විසින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඉදිරිපත් වූ ඉහළම ලංසුව වූ පාකිස්තාන රුපියල් බිලියන 135ක් (අමෙරිකානු ඩොලර් මිලියන 482ක් පමණ) මෙහි වටිනාකම වෙයි.
මෙම ගනුදෙනුවෙන් පසු ගුවන් සේවයේ සියයට 75ක අයිතිය අරිෆ් හබීබ් සමූහයට හිමිවන අතර ඉතිරි සියයට 25ක කොටස් රජය සන්තකයේ පවතිනු ඇති.
පාකිස්තාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජය සතු ආයතන දිගින් දිගටම ලබන පාඩු අවම කර ගැනීමට සහ රාජ්‍ය මූල්‍ය පීඩනය ලිහිල් කර ගැනීමටයි.
PIA ගුවන් සේවය වසර ගණනාවක සිට දැවැන්ත ණය බරකින්, අකාර්යක්ෂම කළමනාකරණයකින් සහ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පීඩා විඳිමින් තිබුණි.
මීට පෙර කිහිප වතාවක්ම මෙය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළද විවිධ හේතූන් මත එය ප්‍රමුඛ කාලයකට කල් ගොස් තිබේ.
මෙම ගුවන් සේවය මිලදී ගත් අරිෆ් හබීබ් සමූහය පාකිස්ථානයේ විශාලතම ව්‍යාපාරික ජාලයන්ගෙන් එකක් වේ.
මූල්‍ය සේවා, සිමෙන්ති, වානේ, බලශක්ති සහ පොහොර නිෂ්පාදන යන ක්ෂේත්‍ර ගණනාවක ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත වී පවතියි.
නව හිමිකාරිත්වය යටතේ ගුවන් සේවයේ කළමනාකරණය විධිමත් කර එය නැවත ලාභ ලබන තත්ත්වයට පත් කිරීම ඔවුන්ගේ අරමුණයි.
නෛතික සහ නියාමන ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු ගුවන් සේවයේ පාලනය නිල වශයෙන් නව හිමිකරුවන්ට පැවරීමට නියමිතයි.