Latest News

සෞදි අරාබියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වාර්තාගත ඉහළ යාමක්

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබිය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සංඛ්‍යාව මේ වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ එංගලන්තය පදනම් කරගත් රිප්‍රීව් සංවිධානයට අනුව, මේ වසරේදී අවම වශයෙන් පුද්ගලයින් 347 දෙනෙකු මරා දමා ඇති බවයි.

මෙය 2024 වසරේ වාර්තා වූ 345ක සංඛ්‍යාව අභිබවා යාමක්.

මෙහි නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ දා සිට වාර්තා වූ ‘ලේවැකි වසර’ ලෙස එම සංවිධානය හඳුන්වයි.

මරණ දඬුවම ලබා දුන් පිරිසෙන් තුනෙන් දෙකක් (2/3) පමණ දඬුවම් ලබා ඇත්තේ ජීවිත හානි සිදු නොවන මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහායි.

හෂීස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් පුද්ගලයින් 96 දෙනෙකු මරා දමා තිබේ.

මියගිය අයගෙන් අඩකට වඩා වැඩි පිරිසක් විදේශිකයන් වන අතර, මරා දැමුණු පිරිසට කාන්තාවන් 5 දෙනෙකු ද ඇතුළත්.

විරෝධතාවලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබූ, එම අවස්ථාවේදී ළමුන්ව සිටි තරුණයින් දෙදෙනෙකු සහ තුර්කි අල්-ජැසර් නම් මාධ්‍යවේදියෙකු ද මරා දැමුණු පිරිස අතර වෙයි.

සෞදි අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ වධහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබා ගැනීම් බහුලව සිදුවන බවයි මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ.

බොහෝ විට දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර පවුල්වල අයට දැනුම් නොදෙන අතර මළ සිරුරු පවා ආපසු ලබා නොදෙන බව වාර්තාවල දැක්වෙයි.

මෑතකදී මරා දැමූ අය අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට බල කරන ලද බව පැවසූ ඉසාම් අල්-ෂාස්ලි නම් ඊජිප්තු ධීවරයෙකු සහ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ද වන බව සඳහන්.

සෞදි රජයේ නායක මොහොමඩ් බින් සල්මාන් කුමරු රට තුළ සමාජීය ලිහිල් කිරීම් සිදු කළ ද, මානව හිමිකම් වාර්තා තවමත් භයානක මට්ටමක පවතින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, සෞදි බලධාරීන් පවසන්නේ තමන් මානව හිමිකම් ආරක්ෂා කරන බවත්, මරණ දඬුවම ලබා දෙන්නේ සියලුම අධිකරණ ක්‍රියා පටිපාටි අවසන් කිරීමෙන් පසු ඉතාම බරපතල අපරාධ සඳහා පමණක් බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලා තිබේ.

World News

Send your contact Details Today