සංගීතේ ටෙලි නිර්මාණයේ අසෙනි ලෙසින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් ගීත්මා බණ්ඩාර මේ දිනවල චමත්කා ලෙසින් ද බොහෝ සේ ආදරය විඳින්නීය. බිනරී මෙන්ම හංසනා ලෙසින් ද ඔබේ ආදරය ලබන්නී ඇයයි. විවිධ භූමිකා ඔස්සේ මේ දිනවල පුංචි තිරයේ දකින ඇය මේ වන විට සිනමාවට ද පිවිස සිටින්නීය. එම තොරතුරු ද සමඟින් ඇය අද අප හා එක් වූවාය.
ගීත්මා මේ දවස්වල භූමිකා කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතරට එනවා?
ඔව්. මේ දවස්වල මං රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ හතරක් නාළිකා හතරක විකාශය වෙනවා. දෙරණ නාළිකාවේ සංගීතේ, ස්වාධීන රූපවාහිනී නාළිකාවේ සිහිනෙක තනිවෙලා, ස්වර්ණවාහිනියේ මා වගේම හිරු නාළිකාවේ හිරු කුමරු ආදරේ ගෙනැල්ලා. මේ චරිත හතර එක්කම ප්‍රේක්ෂක ආදරය විඳිමින් තමයි මේ දවස්වල ඉන්නේ. අසෙනි ලෙසින් මුලින්ම ලබපු ආදරයේත් කිසිම අඩුවක් නැහැ. මේ වෙද්දි කතාව ගලායෑමේ වෙනසත් එක්ක ඒ ආදරය තව තවත් වැඩි වෙලා කියලත් හිතෙනවා. චමත්කා මේ දිනවල වැඩිපුරම ආදරය ලබනවා කිවුවත් හරි. පාරෙ යද්දි මේ මොන නමින් ඇමතුවත් මං හැරිල බලනවා.
ගීත්මා ප්‍රේක්ෂකයන් අතරට ගියේ අසෙනි නිසා. ඒත් මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ චමත්කා ගැන නේද?
ඇත්තටම ඔව්. මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලබන්නේ චමත්කා. චමත්කා ඉන්නේ මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන මා ටෙලි නිර්මාණයේ. චමත්කා කියන්නේ අභියෝගවලට බය නැති, අසාධාරණයට ඕනෑම වෙලාවක විරුද්ධ වන, තමන්ගේ වයසට වඩා ලොකු වැඩ කොටසක් කරන චරිතයක්. ඉරේෂ් ලොකුබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. තිරපිටපත මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ. මුලදි නම් චමත්කා මට ලොකු අභියෝගයක් වුණා. මං මහේෂ් අයියත් එක්ක වැඩ කරන පළමු අවස්ථාව. ඒක මගේ රංගන ජීවිතේට ලොකු පන්නරයක් වුණා. ඔහුත් නිතරම මේ චරිත ඇතුළෙ ජීවත් වන කෙනෙක් නිසා පිටපත ඇතුළේ ලොකු දෙයක් කරන්න අපිවත් පොලඹවනවා. ඒ නිසා ස්ක්‍රිප්ට් එකේ තියෙන හැම අකුරක්ම අපිට කියන්න වෙනවා. බොහෝ දෙනෙකුට ඒක ලොකු අභියෝගයක් වෙලා. සංගීතේ වැඩ කරල ලබපු අත්දැකීම මට මෙතනදි පන්නරයක් වුණා කිවුවත් හරි. ඒ වගේම හිරු කුමරු ආදරේ ගෙනැල්ලා එකෙත් ඔය වැඩේම වෙනවා. මොකද අධ්‍යක්ෂණය වගේම තිර පිටපතත් දිලුක ප්‍රසාද් අයියගේ. නිෂ්පාදනයට අතගහල තියෙන්නේ අපේම පරපුරේ අපේ යාළුවෙක් ගයාත්‍රි දිසානායක. තිරපිටපත දිලුක අයියගේ නිසා වචනයක් එහෙ මෙහෙ වුණත් එයාට තේරෙනවා. ගීත්මා ඔතන ඔහොම නෙවෙයි මෙහෙමයි කියල කියනවා. මේ ටෙලි නිර්මාණ හතර එක්කම මං මේ දවස්වල ඇකඩමික් විතරක් නෙවෙයි ප්‍රායෝගිකවත් අත්දැකීම් ලබමින් ඉන්නේ.
සිහිනෙක තනිවෙලා බිනරි කියන්නෙ ටිකක් වෙනස් අත්දැකීමක් නේද?
බිනරි කියන්නෙ පවුලෙ වගකීම කරට ගත්ත දියණියක්. තාත්තගේ කකුල කැඩිලා, නංගි ඉගෙන ගන්නවා, අම්මා මල් පැළ විකුණලා ලබන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ. බිනරි හොඳට ඉගෙනගත්ත, හැම වෙලේම හරිදේ කරන්න උත්සාහ කරන බුද්ධිමත් තරුණියක්. නංගී නිකිණි හැදෙන්නෙත් ඇගේ සෙවණේ. මේ අක්කයි නංගියි ජීවිතේට මුහුණ දෙන විදිහ, ජීවිතේ ගොඩයන්න හදන විදිහත් එක්ක මාත් ගොඩක්ම ආස කරන කතාවක්. ඒ වගේම මං අභිලාෂි එක්ක වැඩ කරන පළමු අවස්ථාවත් මේක. මුළු කණ්ඩායමම මං මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා.
සිහිනෙක තනිවෙලා හසිත රාජපක්ෂගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. නවකයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
මේක ඔහුගේ පළමු අධ්යක්ෂණ වුණාට මං ඔහුත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. මීට කලින් ඔහු සහාය අධ්යක්ෂවරයෙක් විදිහට ගොඩක් වැඩ කරපු කෙනෙක්. සංසාරිණී ඇතුළුව බොහෝ තැන්වලදී ඔහු මට හමුවෙනවා. ඒ නිසා ඔහු මට නවකයෙක් නෙවෙයි. ඒ වගේම තිමිර උඩලමත්ත එක්ක වැඩ කරන දෙවැනි අවස්ථාව. සංසාරිණීත් ඔහුගේ ටෙලි පිටපතක්.
ගීත්මා දැන් සිනමාවටත් සම්බන්ධයි නේද?
ඔව්. පහුගිය දවස්වල සිනමා නිර්මාණ දෙකක වැඩකටයුතු අවසන් කළා. ලබන මාසේ තවත් අලුත් සිනමා නිර්මාණයක වැඩ ආරම්භ කරනවා. ලකයි සිකයි අයියලගේ සුරදෙටුවෝ සිනමාපටයට සම්බන්ධ වුණා. ලක්මාල් වීරරත්න අයියගේ අධ්‍යක්ෂණයක්. සංවේදී මාතෘකාවක් ගැන කතාවෙන හාස්‍ය මුසු වුණු හරි ලස්සන නිර්මාණයක්. ඒ වගේම සාරංග මෙන්ඩිස්ගේ ‘කල්පනා’ චිත්‍රපටයෙ වැඩත් මේ වෙද්දි අවසන්. ඉදිරියේදී මහේෂ් අයියගේ මීටරේ සිනමාපටයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම පළමුවෙන්ම සිනමාවේ අත්දැකීමක් ලබන්නේ කල්පනා සිනමාපටයෙන්. නමුත් සුරදෙටුවෝ පළමුව තිරගත වේවි කියල තමයි බලාපොරොත්තුව. මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට පළමු වතාවට ළඟදීම මාව රිදී තිරයෙන් දැකගන්න ලැබේවි.
ගීත්මා මේ දවස්වල අතිශයින්ම කාර්යබහුලයි නේද? හිටිගමන් මේ තරම් කාර්යබහුල වෙන්න හේතුව මොකක්ද?
ඔව්. මේ දවස්වල මං වැඩවලට ඇබ්බැහි වෙලා කිවුවත් හරි. ගීත්මා දැන් තනිකඩ නිසා මුළු කාලයම කලා කටයුතුවලට යොදවනවා. ඒ නිසා විවේකයක් නැති තරමටම වැඩ වැඩි වෙලා. ඒකත් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද මීට කලින් මං මේ තරම් වැඩ ගොඩක් කරල තිබුණෙ නැහැනේ.