පුංචි තිරයෙන් ඔබට සමීප වූ මිෂෙල් දිල්හාරා දැන් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය නිළිය බවට පත්ව අවසන්. පුංචි තිරයෙන් පමණක් නොව දැන් ඇය රිදී තිරයෙන් පවා ප්‍රේක්ෂකයන් වෙත සමීප වී හමාරයි. මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ අදිරන් දෙමළ චිත්‍රපටය නිසා මිෂෙල් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. විශේෂයෙන්ම අදිරන් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූ කොළඹ වන් ගෝල්ෆේස් PVR සිනමා ශාලාවේදී මිෂෙල්ට ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයක්. මේ ප්‍රතිචාරය කොතරම්ද කියනවා නම් ඇය වටකර ගත් ප්‍රේක්ෂක ප්‍රමාණය නිසා චිත්‍රපටයේ දර්ශනය පවා පැයක් පමණ ප්‍රමාද වුණා. මේ තරම් රසික ආදරයක් ලැබීම ගැන මිෂෙල්ට තිබෙන්නේ පුදුමාකාර සතුටක්.
‘‘ඒක නම් මට හිතාගන්න බැරි තරම් පුදුම හිතෙන දෙයක්. මොකද මම යන යන තැන ආදරණීය රසිකයන්ගෙන් දරාගන්න බැරි තරම් ආදරයක් ලැබෙනවා. ඒක අද ඊයෙක තියෙන දෙයක් නෙමේ. හැමදාම මට ලැබුණ වරප්‍රසාදයක්. මට මතකයි ලලයි ලිලයි රූපගත කරන කොටත් හැම කෙනාම ඇවිත් ෆොටෝ එකක් ගන්න තරමට ඒ ආදරය ළෙන්ගතු වුණා. ඒ වගේම සම්මාන උළෙලවල් කීපයකදීම මට ජනප්‍රිය සම්මානය හිමි වුණේ මේ රසික ආදරය නිසාමයි. ඇත්තටම ඒක නිළියක් හැටියට මට විශාල ශක්තියක්. යන හැම තැනකදීම මාත් එක්ක කතා කරන, මාව ධෛර්යවත් කරන මාත් එක්කම සතුට බෙදාගන්න එකතු වෙන සියලු දෙනාටම හදවතින්ම ස්තුතියි කියන්න මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා.’’
මිෂෙල් දිල්හාරා එහෙම කිව්වේ දැඩි ළෙන්ගතුකමකින්. නමුත් මේ මොහොතේ වුණත් ඇයට ආදරය කරන, කලාවට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් සිටින්නේ හොඳ මානසිකත්වයක නෙමේ. ගංවතුර හා කුණාටු තත්ත්වය නිසා දැඩි අර්බුදයකට මුහුණ දීලා මේ අර්බුදය නිසා පීඩාවට පත්වූ අය වෙනුවෙන් මිෂෙල් දිල්හාරා ලොකු සේවයක් කළා. නමුත් බොහෝ දෙනෙක් පත්ව ඇති තත්ත්වය ගැන ඇයට ද ඇත්තේ දැඩි වේදනාවක්.
‘‘ඇත්තටම මේක අපි හැමෝම මුහුණ දීලා තියෙන ඛේදනීය තත්ත්වයක්. ගංවතුර හා නායයෑම් නිසා විපතට පත්වෙලා ඉන්නේ අපේම අය. මේ මොහොත කියන්නේ අපි හැමෝටම එකට එකතු වෙන්න ඕන මොහොතක්. අපි හැමෝම එකට එකතු වෙලා එකා වගේ වැඩ කරලා ගොඩයන්න ඕන මොහොතක්. අපිට පුළුවන් විදිහට මේ ව්‍යසනයට මුහුණ දීපු හැමෝටම නැවත යථා තත්ත්වයට පත්වෙන්න සහනයක්, ශක්තියක් වෙන්න සහයෝගය ලබා දිය යුතුයි කියන තැන මම ඉන්නවා.’’
ඇය කියන්නේ ළෙන්ගතු ස්වරයෙන්. කොතරම් ප්‍රශ්න, කරදර ආවත් මේ දිනවල මිෂෙල් ගත කරන්නෙත් තරමක කාර්යබහුල කාලයක්. ඇය ප්‍රධාන චරිතය රඟපෑ දෙමළ චිත්‍රපටය අදිරන් සිනමා ශාලා තුළ තිරගත වන විට තවත් නාට්‍ය කීපයකම වැඩ කරන්නත් ඇයට සිදුවෙලා.
‘‘රටේ ප්‍රශ්න තිබුණත් රූගත කිරීම නතර වෙලා නැහැ. හිතේ තියෙන වේදනාව හංගාගෙන ඒ දේවල්වලට සහභාගි වෙන්න වෙලා තියෙනවා. රොන් සොයා නාට්‍යයේ රූපගත කිරීම්වලට අමතරව තවත් අලුත් නාට්‍ය තුනක රූපගත කිරීම් සඳහා සහභාගි වෙනවා. කොළඹ හා පාදුක්ක කියන ප්‍රදේශවල තමයි රූපගත කිරීම් සිදුවෙන්නේ.’’
ඒ වගේම ඇය රංගනයේ යෙදෙන අදිරන් ගැනත් කතා කරන්න ඇය අමතක කළේ නැහැ.
‘‘තිනේශ් කණගරාජ් මහතා තමා මට අදිරන් චිත්‍රපටය සඳහා ආරාධනා කරන්නේ. අදිරන් තුළ මම නිරූපණය කරන චරිතය තමා කවී කියන්නේ. ඇය සාම්ප්‍රදායික දෙමළ යුවතියක්නේ. ඇත්තටම මේ චරිතය භාරගන්නකොට මට ලොකු චකිතයක් තිබුණා මේක කරන්න පුළුවන් වෙයිද කියලා. ඒකට හේතු කීපයක්ම තිබුණා. එකක් තමයි දෙමළ සිනමාව කියන එක එහෙම පිටින්ම අලුත්ම අත්දැකීමක්. අනිත් කාරණාව තමා මෙහි තිර රචනය සම්පූර්ණයෙන්ම තිබුණේ දෙමළෙන්. මේ නිසා සිංහල පරිවර්තනයකුත් එක්ක තිර රචනාව කියවා ගන්න සති එකහමාරක විතර කාලයක් ගතවුණා. ඊට පස්සේ මම දෙමළ චිත්‍රපට විශාල ප්‍රමාණයක් බැලුවා. මොකද දෙමළ සිනමා රංගනය ගැන මට සියුම් ලෙස අධ්‍යයනය කරන්න අවශ්‍ය වුණා. ඒ ආකාරයට තමා මම අදිරන් වෙනුවෙන් සූදානම් වුණේ.
ඉන්පසු චරිතයට පිවිසීමේදී තමයි ඇඳුම් නිර්මාණය කළ අබූ සහ ධාරා කියන අයියලා දෙදෙනාගේම උදව් මට ඉතා හොඳින් ලැබුණා. මොකද ඔවුන් මා වෙනුවෙන් නිර්මාණය කළ ඇඳුම් අඳිනකොට ඒ සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් හා හැඟීමක් දැනුණා. අනිත් කාරණාව තමා අදිරන් චිත්‍රපටයේ මාත් එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දෙමළ රංගන ශිල්පියෙක් වන සුදර්ශන් රවීන්ද්‍රන්. එයාගෙන් ලැබුණ සහායත් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ දේවල් එක්ක වෙනස්ම චරිතයක් නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා.’’
සිංහල නිළියක් දෙමළ චරිතයක් සඳහා තෝරාගැනීම තුළම ඇය කොතරම් දක්ෂ නිළියක්ද කියන කාරණාව ඔප්පු වී හමාරයි. නමුත් චිත්‍රපටයේ දෙමළ දෙබස් හැසිරවීමේදී මිෂෙල්ට දැනුණ අභියෝගය ඇය සිහිපත් කළා.
‘‘දෙමළ භාෂාව ගැන මට ලොකු දැනුමක් නැහැ. සාමාන්‍ය දැනීමක් විතරයි තිබුණේ. ඒ නිසාම හඬකැවීම සඳහා තවත් කෙනෙක් යොදාගන්න සිද්ධ වුණා. මොකද මෙතන යාපනේ දෙමළ හා කොළඹ දෙමළ හැසිරවීම ගැන ඇති චතුරත්වය ගැන ප්‍රශ්නයක් ආවා. මොකද මට මේ දෙකම ඒ ආකාරයට හසුරුවන්න අමාරුයි. ඒ නිසා මං වෙනුවට හඬ දෙන්න සිද්ධ වුණා. නමුත් රඟපෑමේදී බොහෝ දේ අවබෝධ කරගන්න පුළුවන්කම මට තිබුණා.’’
චිත්‍රපටයේ සම්පූර්ණ රූපගත කිරීම් සිදුවන්නේ ලංකාවේ. මේ රූගත කිරීම් ඉතාමත් සුන්දර මතක සටහන් බව මිෂෙල්ගේ ඇස්වලින් තේරුම් ගන්න පුළුවන් වුණා.
‘‘අදිරන් රූපගත කිරීම් කළේ මස්කෙළිය ප්‍රදේශයේ. දින 25 ක් පුරා රූගත කිරීම් කළා. ඇත්තටම වෙනස්ම අත්දැකීම් ජීවිතයට එකතු කළා. විශේෂයෙන්ම දෙමළ සංස්කෘතිය ගැන ලොකු දැනුමක් ලැබුණා. චිත්‍රපටයේ එන තිරුවිලා උත්සවය වෙනුවෙන් කළ රූපගත කිරීම් ජීවිතේ කිසිම දිනක අමතක වෙන්නේ නැහැ.
තිරුවිලා කියන්නේ දෙමළ අයගේ උත්සවයක්. මෙහි රූපගත කිරීම් කළේ මස්කෙළිය කියන ගමේ. අපි මස්කෙළියේ රූපගත කිරීම්වලට යනකොට මේ තිරුවිලා උත්සවය නිමා වෙලා හරියටම සතියයි. නමුත් චිත්‍රපටය වෙනුවෙන් තිරුවිලා උත්සවයක් නිර්මාණය කළ යුතුව තිබුණා. නැවතත් අපි මේ උත්සවය වෙනුවෙන් මුළු ගමම සූදානම් කළා. මුළු ගමම අපේ උදව්වට ආවා. මීට කලින් ජීවිතේ කිසිම දවසක මම මේ වගේ උත්සවයක් දැකලා තිබුණේ නැහැ. ඉතාමත් සාර්ථක ලෙස චිත්‍රපටය වෙනුවෙන් ගමේ අයත් එක්ක එකතු වෙලා තිරුවිලා උත්සවයක් කරන්න අපේ චිත්‍රපට කණ්ඩායමට හැකිවුණා.’’
මේ කැප කිරීමේ ප්‍රතිඵලය මිෂෙල් දිල්හාරා ඇතුළු චිත්‍රපට කණ්ඩායමම මේ දිනවල උපරිමයෙන්ම ලබනවා.
‘‘චිත්‍රපටය බලන හැමෝම දරාගන්න බැරි තරම් ඉහළ ප්‍රතිචාරයක් ලබාදෙනවා. නොවැම්බර් 22 මෙහි මංගල දර්ශනය තිබුණා. බලන හැමෝම හොඳයි කියලා කිව්වා. සිංහල සිනමාවේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මාව තවත් ශක්තිමත් කරනවා. දැනට ලංකාව ඇතුළුව පැරිස් හා නෝර්වේ කියන රටේ අදිරන් තිරගත වෙනවා. ශ්‍රී ලංකාවේ සිංහලට හඬ කැවූ චිත්‍රපටය සහ දෙමළ භාෂාවෙන් නිර්මාණය වූ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. මේ තිරගතවීම්වලින් පසු ඉන්දියාවේත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා.’’
ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපටයෙන් පසු ඇය රඟපාන දකුණු ඉන්දියානු ඉන්දියානු දෙමළ චිත්‍රපයටයක්ද මේ දිනවල නිර්මාණය වෙනවා. ඉන්දියානු දෙමළ චිත්‍රපටයක රංගනය සඳහා ආරාධනා ලැබීමට තරම් මිෂෙල් රඟපෑ කවීගේ චරිතය ඉවහල් වී තිබෙනවා.
‘‘අදිරන් චිත්‍රපටයේ ‘කවීගේ’ චරිතය නිසා තමා මට ‘බයිලා’ කියන දෙමළ චිත්‍රපටයේ රංගනය සඳහා ආරාධනා ලැබෙන්නේ. දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රබල නළු නිළියන් සමග රඟපාන්න ලැබීම මම ලබපු වාසනාවක්. අදිරන් තුළ කළ රංගනය මේ චිත්‍රපටයේ රඟපාන්න මට ලොකු පහසුවක් ඇති කළා. හැබැයි අදිරන් චිත්‍රපටයේ වැඩ කරනකොට සිංහල භාෂාව ගැන දන්න අය ළඟ උන්නා. නමුත් බයිලා චිත්‍රපටයේදී එහෙම කවුරුවත් නැහැ. භාෂාව ගැන අවබෝධයක් ලබමින් රඟපෑම් කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් බයිලා චිත්‍රපටයේ පළවෙනි ෂෙඩුල් ටික කරලා ඉවරයි. ඉදිරි දිනවලදී එහි ඉතුරු කොටස් ආරම්භ වෙනවා. ඒ සඳහාත් මේ දිනවල සූදානමින් ඉන්නවා.’’
පුංචි තිරයෙන් කලාවට පිවිස සිංහල සිනමාවේ දොරටුව හැරගත් ඇය දකුණු ඉන්දියානු සිනමාවටත් පිය නගා අවසන්. කෙතරම් ඉහළට ගියත් ඇය තුළ ඇති අපේකම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයාට ඇති ළැදියාව තාමත් එලෙසමයි. ප්‍රේක්ෂකයන්ද පෙරලා ඇයට ඒ සෙහෙනහ හා ගෞරවය ලබා දෙනවා. සිනමා නිළියකට ඒ ගෞරවය හා ආදරය තරම් වටිනා දෙයක් තවත් නොමැති බව කිව යුතුයි.