වාර්ෂිකව ගාසා ස්ථාවරකරණ බලකායට හමුදා දායක කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට බල කිරීමත් සමඟ, පාකිස්තානයේ බලවත්ම හමුදා ප්‍රධානියා අසීම් මුනීර්, ඔහුගේ අලුතින් රැස් කරගත් බලතලවල දරුණුතම පරීක්ෂණයට මුහුණ දී සිටින බව විශ්ලේෂකයින් පවසයි.
මෙම පියවර දේශීය ප්‍රතිවිරෝධතාවක් ඇති කිරීමේ අවදානමක් ද තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මාස හයක් තුළ තුන්වැනි හමුවීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉදිරි සතිවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය බලා සංචරය කිරීමට ද නියමිත අතර එහිදී ගාසාවට හමුදාව යොමු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරනු ඇතැයි වාර්තා වෙයි.
ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් ගාසා සැලැස්ම යටතේ යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියේ ප්‍රතිසංස්කරණය සහ ආර්ථික ප්‍රකෘතිය අධීක්ෂණය කිරීමට මුස්ලිම් ජාතීන්ගෙන් බලකායක් ඉල්ලා සිටියි.
ගාසාවේ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් නිරායුධකරණය කිරීමේ මෙහෙයුම ගැන බොහෝ රටවල් සැලකිලිමත් වන අතර, එය ඔවුන් ගැටුමට ඇද දැමිය හැකි අතර එම රටවල පලස්තීන ගැති සහ ඊශ්‍රායල විරෝධී ජනතාවගේ විරෝධයට ද හේතුවිය හැකියි.
නමුත් වොෂින්ටනය සහ ඉස්ලාමාබාද් අතර වසර ගණනාවක් තිස්සේ පැවති අවිශ්වාසය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මුනීර්, ට්‍රම්ප් සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබේ.
එවන් පසුබිමක ගාසා ස්ථායීකරණ හමුදාවට පාකිස්තානය දායක නොවීම ට්‍රම්ප් ගේ නොසතුටට හේතු විය හැකි අතර එය දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින පාකිස්තානයට බරපතළ කරුණක් වනු ඇති.
න්‍යෂ්ටික අවි ඇති ලොව එකම මුස්ලිම් රට පාකිස්තානයයි.
පසුගිය සති කිහිපය තුළ, මුනීර් ඉන්දුනීසියාව, මැලේසියාව, සෞදි අරාබිය, තුර්කිය, ජෝර්දානය, ඊජිප්තුව සහ කටාර් වැනි රටවල හමුදා සහ සිවිල් නායකයින් හමුවූ අතර ගාසා වෙත හමුදා යැවීම එම සාකච්ඡා න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කරුණක් වූ බව ද වාර්තා වේ.
නමුත් රට තුළ ඇති විශාල කනස්සල්ල නම්, එක්සත් ජනපදයේ සහාය ලත් සැලැස්මක් යටතේ ගාසා තීරයට පකිස්ථාන හමුදා සම්බන්ධ වීම, එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ගැඹුරින් විරුද්ධ වන පකිස්ථාන ඉස්ලාමීය පක්ෂවල විරෝධතා නැවත ඇති කළ හැකි බවයි.
ඉස්ලාම්වාදීන්ට දහස් ගණනක් බලමුලු ගැන්වීමට වීදි බලයක් තිබේ.
2024 ජාතික මැතිවරණයේදී වැඩිම ආසන දිනාගත් සහ පුළුල් මහජන සහයෝගයක් ඇති, සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ද මුනීර්ට එරෙහිව වීථි සටන් ආරම්භ කිරීමට මෙය හේතුවක් කර ගත හැකියි.